2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජනතාවට වගකියනවානම් තේරීම් කමිටුවට ජනපතිත් එන්න ඕනෑ - ආශු මාරසිංහ

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

I චමිඳු නිසල් ද සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට වගකියන ජනාධිපතිවරයකු නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණිය යුතු යැයිද එසේ නොපැමිණෙන්නේ නම් ඊට ප්‍රතිචාර දක්වීම ජනතාවගේ කාර්යයක් යැයිද එම කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා දේශයට කීය.

ජනාධිපතිවරයා නොපැමිණෙන්නේ නම් සැප්තැම්බර් 30 වනවිට වාර්තාව භාරදීමට කටයුතු කරන බව මෙහිදී මාරසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය. සැප්තැම්බර් 30 ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට දන්වා ඇති නිසා ජනාධිපතිවරයාට මාසයක කාලයක්ම ලැබී ඇත. එම නිසාවෙන් ජනාධිපතිවරයා එම කාලය තුළ සාධනීය ප්‍රතිචාරයක් දැක්වතැයි කාරක සභාව බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා තමන් හමුවට එන ලෙස කාරක සභාවෙන් ඉල්ලා සිටියහොත් ඒ සඳහා තමන් ඇතුළු පිරිස සූදානම් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඕනෑම ස්ථානයක රැස්වීමට කාරක සභාව බලය ඇති බවද ආශු මාරසිංහ මහතා දේශයට පැහැදිලි කළේය. අදාළ ලිපියට ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් උද්ගත විය ඇති තත්ත්වය පිළිබඳ කාරකසභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ සම්බන්ධ තවම තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා සඳහන් කළේය.