2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

සාලින්ද අභාවයෙන් හිස්වූ මන්ත්‍රී පුටුව ගන්න ශාන්ත - හේරත් අරගලයක්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

දේශපාලන වාර්තාකරු l

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිරවීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය අවුලක් හටගෙන ඇතැයි දේශයට වාර්තාවෙයි.

ඒ සම්බන්ධයෙන් දැනටමත් අදාළ තේරීම්භාර නිලධරයා නීතිපති උපදෙස් පතා ඇති අතර ලබන 12දා රැස්වන මැතිවරණ කොමිෂන් සභාව ඒ ගැන අවසන් තීන්දුවක් ගනු ඇතැයි කියැවේ.

හටගෙන ඇති අර්බුදයට හේතු වී ඇත්තේ සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වනවිට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි තැනැත්තා වූ එච්.එම්.ඩී.බී. හේරත් මහතා තමන් එම මන්ත්‍රී ධුරයට පත්විය යුතු යැයි ප්‍රකාශ කර තිබීමයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද දැනුම්වත් කර ඇති හෙතෙම ඊට අදාළ නීතිමය පියවර ගැනීමේ සූදානමක් ඇතැයි දැනගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය අගෝස්තු 05දා සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වනවිට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලැබීම සඳහා සුදුසුකම් ලබා සිටියේ හේරත් මන්ත්‍රීවරයා බව මුලින්ම නිවේදනය වීම නිසාය. ඉන් දින දෙකකට පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වූ ශාන්ත බණ්ඩාර මහතාට නැවතත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයකට හිමිකම නැතැයි විපක්ෂ නායකවරයාට හේරත් මහතා වැඩිදුරටත් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් එ.ජ.නි.ස. ජ්‍යෙෂ්ඨයකුගෙන් කළ විමසුමකදී දැනගන්නට ලැබුණේ මෙයට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් සිට ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල මනාප ලැයිස්තුවේ මන්ත්‍රී ධුර නොලැබූවන්ගෙන් පළමුවැනියා නිසා ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්වීමත් සමඟ නැවත දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට වරමක් ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව හටගෙන ඇති ප්‍රශ්නය නිරාකරණය සඳහා එච්.එම්.ඩී.බී. හේරත් මහතා අධිකරණයේ පිහිට පතනු ඇතැයි දේශයට වාර්තාවෙයි. පසුගිය මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව ශාන්ත බණ්ඩාර මහතා මනාප 42884ක් ලබාගත් අතර එච්.එම්.ඩී.බී. හේරත් මහතා මනාප ඡන්ද 42789ක් ලබාගත්තේය.