2017 මාර්තු 04 වන සෙනසුරාදා

ඇමැතිකම් 2ක් අනතුරේ!

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260


වාර ගණනක් කල්දමනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසුව ස්ථිර වශයෙන්ම සිදුකෙරෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මේ ගැන ශ්‍රී.ල.නි.ප.ය හා එ.ජා.ප.ය අවසන් එකඟතාවකට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙම මස මුල් සතියේ සිදුකිරීමට මුලින් සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් දින කිහිපයකින් පමා කරන්නට තීන්දු ක‍ළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලෙගාඩ් මහත්මිය ලබන 05 දා ශ්‍රී ලංකාවට  පැමිණෙන බැවිනි. ඉන්පසුදා ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි.

සංශෝධනය වීමට නියමිත ප්‍රධාන අමාත්‍යංශ ලෙස දේශයට වාර්තා වන්නේ මුදල්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, වරාය අමාත්‍යංශයන්ය. ඉඩම් අමාත්‍යංශය සහ තවත් අමාත්‍යංශ දෙකක් ගැන සලකා බැලෙතත් ඒවා ගැන මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

දැනට රවි කරුණානායක මහතා දරන මුදල් අමාත්‍යංශය එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකුට හිමිවීමට නියමිතය. මෙය ආචාර්ය සරත් අමුණුගම මහතාට භාරගන්නා ලෙස රජය කරන ලද ඇරැයුම අමාත්‍යංශ ලේකම් ධූරය සම්බන්ධව පවත්නා ප්‍රශ්නයක් නිසා ආචාර්ය අමුණුගම විසින් ප්‍රතික්ෂේප කරන ලද බව අප වෙත වාර්තා වෙයි. ඒ අතර මුදල් නියෝජ්‍ය අමාත්‍ය පදවියක්ද ඇතිකොට එය එරාන් වික්‍රමරත්න මහතාට ලබාදීමට ඉඩ ඇතැයිද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. දැනට ජෝන් අමරතුංග මහතා දරන අමාත්‍ය පදවි අතරින් ඉඩම් විෂය වෙන්කර රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට පැවරීමට යෝජනා වී තිබේ. ඒ සමඟ අමාත්‍ය මද්දුම බණ්ඩාර මහතා දරන රාජ්‍ය පරිපාලන කළමනාකරණ විෂය වෙනත් ජ්‍යෙෂ්ඨයකුට ලබාදීමට නියමිතය. මුදල් අමාත්‍ය රවි කරුණානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට පැවරෙන විෂයයන් ගැනද අවසන් තීන්දුවක් ගෙන නැත. ඒ අතර වරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ විෂයයද වෙනස් කරනු ඇතැයි සඳහන්ය.

දේශපාලන වාර්තාකරු l