2019 ජුනි 29 වන සෙනසුරාදා

දේශපාලකයන් බේරා ආරක්ෂක ලේකම් කොටුකිරීම වැරදියි - හිටපු අග්‍රාමාත්‍ය ලේකම්

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 350

I දේශපාලන වාර්තාකරු

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රාජකාරිමය වගකීම් පැහැර හැරීම සම්බන්ධව පොලීසිය ලවා අපරාධ පරීක්ෂණයක් සිදුකොට දේශපාලනඥයන් ශුද්ධවන්තයන් බවට පත්වීමට දරන උත්සාහයට දැඩි ලෙස විරෝධය හා අප්‍රසාදය පළ කරන බව විශ්‍රාමික, රාජ්‍ය සේවා ප්‍රධානීන් විසින් පිහිටුවාගෙන ඇති (යුක්තියට හඬක්) සංවිධානයේ සභාපති හා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර මහතා පවසයි.

යුක්තියට හඬක් සංවිධානය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලන ක්‍රියාදාමයන්හිදී සිදුවන වැරදි ගැන ක්‍රියා කළ යුත්තේ ආයතන සංග්‍රහයේ සඳහන් විනය විධි විධානවලට අනුව බව පවසයි. එහෙත් වත්මන් රජය මෙලෙස රාජ්‍ය සේවකයන්ගේ වැරදි සම්බන්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක කරවන්නට යාමෙන් ලක්ෂ ගණනක් වන රාජ්‍ය සේවකයන් මානසික ආර්ථික හා සමාජමය පීඩාවකට ලක් කිරීම බලවත් වරදක් බව සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා වත්මන් ආණ්ඩුව මෙම පිළිවෙත ක්‍රියාත්මක කරන බව පවසන හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ගත් පියවර අසාධාරණ බවද කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශ ලේකම් ක්‍රියා කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ විධානයට හා පරිපාලනයට යටත්වය. එවන් තත්ත්වයක් තිබියදී අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු නොකර අදාළ නිලධරයා පීඩාවට පත් කිරීම බලවත් අසාධාරණයක් යැයි සඳහන් කර ඇත.