2019 ජුනි 22 වන සෙනසුරාදා

කොළඹ නගර සභාව ණය කන්දට යටවෙයි

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

I ජයන්ත සමරකෝන්

කොළඹ මහ නගර සභාව විශාල බැංකු අයිරාවක් තුළින් පවත්වාගෙන යාමට සිදුවීමත් සමඟම එහි බරපතළ මූල්‍යමය කඩා වැටීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට එහි බැංකු අයිරාව රුපියල් ලක්ෂ 15800 ඉක්මවා ඇතැයි එම නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

නගර සභාවේ වියදම් සීමාව ගතවූ මාස 6 තුළ අසීමාන්තික ලෙස ඉහළ යාමත්, ආදායම් එකතු කිරීම සීඝ්‍ර ලෙස පහත දැමීමත්, මෙම තත්ත්වයට හේතු වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඉකුත් 30 දා පැවති නගරසභා මාසික රැස්වීමේදී නාගරික මන්ත්‍රී රම්සි ටෝනි (ශ්‍රීලනිප) මහතා මෙම විශාල බැංකු අයිරාව පිළිබඳව නගර සභාපතිනියගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ තම නගරසභාව සතුව රුපියල් ලක්ෂ 20000ක පමණ ස්ථාවර තැන්පතු මුදලක් ඇති බවත්, ආදායම් එකතු කිරීම සියයට 60ක් දක්වා අඩුවීම නිසා බැංකු අයිරාව ඉහළ ගොස් ඇති බවත්ය.

කෙසේ වෙතත් ඉකුත් වසරේ ජූනි වනවිට මෙහි ස්ථාවර තැන්පතු ගිණුමේ මුදල් රුපියල් ලක්ෂ 25800ක් තිබී ඇතැයි ද එම ප්‍රකාශනය සඳහන් කළේය.

මේ පිළිබඳව විමසීමට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කරගැනීමට කළ උත්සාහය අසාර්ථක විය.