2019 ජුනි 15 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරය: බුද්ධි අංශ වාර්තාවෙන් ඇත්ත බොරු කරලා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

I ආරක්ෂක වාර්තාකරු

අප්‍රේල් 21දා සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන වගකිවයුත්තා වන සහරාන් හෂීම් අදාළ ප්‍රහාරවලදී කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවට රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණ තොරතුරු නිශ්චිතව තහවුරු වී නැතැයි රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප්‍රධානියා අප්‍රේල් මස 09දා පොලිස්පති පූජිත ජයසුන්දරට වාර්තාකර ඇත.

මෙතෙක් කිසිදු මාධ්‍යයකට හෙළිදරව් නොවූ මෙම තොරතුර දේශයට වාර්තා වී තිබේ. රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මෙම කරුණු විස්තර කරමින් අප්‍රේල් මස 09 දින පොලිස්පතිවරයා වෙත පිටු දෙකක විශේෂ රහස්‍ය බුද්ධි වාර්තාවක් සපයා ඇත.

එම බුද්ධි තොරතුරු වාර්තාව ඔහු විසින් පොලිස්පතිවරයාට සපයා ඇත්තේ විදේශීය බුද්ධි අංශ විසින් සහරාන් ඇතුළු පිරිස මෙරට ප්‍රහාර සිදු කිරීමට සූදානමක් ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාවට කල් තබා තොරතුරැ වාර්තා කිරීමෙන් අනතුරුවය. එම වාර්තාවේ ස්ථාන කිහිපයකම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලිඛිතව සඳහන් කර තිබුණේ මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඔවුන්ගේ ඉලක්කය බවයි.

ඊට අමතරව ඔහු සහරාන් ඇතුළු ඔහුගේ මරාගෙන මැරෙන අනුගාමිකයන්ගේ ත්‍රස්ත ක්‍රියා සූදානම ගැනද ඡේද ගණනාවකින් කරුණු දක්වා තිබිණි. ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක පමණක් නොව දුරකතන අංක පවා මෙම බුද්ධි තොරතුරු වාර්තාවේ සඳහන්ය.

වර්ෂ 2016 සිටම සහරාන් අන්‍ය සියලු ආගමිකයන් ඝාතනය උතුම් ආගමික කරුණක් බවත් අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කළයුතු බවටත් සඳහන් කොට සමාජ ජාල හා ආගමික දේශන හරහා සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කළ බවත් සඳහන් කර ඇත.

එහෙත් මේ සියලු තොරතුරු පොලිස්පතිට වාර්තා කළ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිය අවසාන නිගමනය ලෙස සඳහන් කර ඇත්තේ කතෝලික පල්ලි හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට නිශ්චිත තොරතුරු නිරීක්ෂණය වී නොමැති බවයි...

මෙම අති රහස්‍ය බුද්ධි වාර්තාව සපයා දින 12කට පසු සහරාන්ලා සිය මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළෝය. එයින් පුද්ගලයන් 250කට අධික පිරිසක් ඝාතනය වී 500කට අධික පිරිසක් තුවාල ලදහ.