2019 ජුනි 01 වන සෙනසුරාදා

ඉන්දියාවේ කෝටි 137කට ඇමැතිවරු 24යි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 207

සුගත් පී. කුලතුංගආරච්චි I

කෝටි 137ක ජනගහනයක් සිටින දකුණු ආසියාවේ මහ බලවතා වන ඉන්දීය ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය 24කට සීමා කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදී තීරණය කර ඇත. මෙම කැබිනට් ඇමැතිවරු 24ට අමතරව රාජ්‍ය ඇමැතිවරු 33ක් පත්කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ඇමැති මණ්ඩලය 57කට සීමා වී ඇත.

එම කැබිනට් මණ්ඩලයේ මෙවර දේශපාලනඥයන් නොවන බුද්ධිමතුන් ගණනාවකටම තනතුරු හිමිව ඇත. හිටපු විදේශ ලේකම් ආචාර්ය සුබ්‍රමානියම් ජායිශංකර් ඒ අතරින් කැපී පෙනෙන චරිතයකි. මේ හැර ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයෙක් ද පත්ව සිටී. කාන්තාවන් 9 දෙනකුට ඒ අතර ඇමැතිකම් හිමිව තිබේ. රාහුල් ගාන්ධි පරාජය කළ ස්ම්‍රීති ඉරාණී හටද කැබිනට් ඇමැතිකමක් හිමිව ඇත.

ඉන්දියාවේ එසේ වුවද යාන්තම් දෙකෝටි දස ලක්ෂයකට ආසන්න (21,012,723) ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාවේ කැබිනෙට්ටුව ඇමතිවරු 30ක ගෙන් සමන්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන්ය. එසේම කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 40ක් වේ. එවිට ශ්‍රී ලංකාවේ සමස්ත ඇමැති මණ්ඩලය 70කි. එහෙත් පක්ෂ කිහිපයක් එක්ව ජාතික රජයක් ස්ථාපිත කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට අසීමිත සංඛ්‍යාවක් කැබිනට් හෝ කැබිනට් නොවන ඇමැතිවරු පත්කළ හැක. බොහෝ අවස්ථාවල එය 100 ඉක්මවා තිබේ.