2019 මැයි 25 වන සෙනසුරාදා

ඥානසාර හිමිගෙන් ජාති හිතෛෂී නව බලවේගයක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 323

ජයන්ත සමරකෝන් I

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ රට, ජාතිය නැවත ගොඩ ගැනීම සඳහා වූ ප්‍රබල ජාති හිතෛෂී ජනබලවේගයක් ඉදිරියේදී ගොඩනැගීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මහනුවරදී මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අපේක්ෂාකරන බව බොදු බලසේනා සංවිධානය පවසයි.

සිරෙන් නිදහස් වූ දිනයේ සිටම උන්වහන්සේ බිලිබා ගැනීම සඳහා විවිධ කල්ලි කණ්ඩායම් මෙන්ම පක්ෂ - විපක්ෂ දේශපාලන නායකයන් දිගින් දිගටම උන්වහන්සේට බලපෑම් කරන බවද උන්වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවද බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියෝ එම කල්ලි කණ්ඩායම් හා කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන අතර කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් කිසිවෙකුගෙන් හෝ බලාපොරොත්තු නොවන බවද නන්ද හිමියෝ කියා සිටියහ.

ඥානසාර හිමියන් සිරගත වූ මොහොතේ පටන් නිදහස් කර ගැනීම දක්වා දේශ හිතෛෂී බලවේග හා කණ්ඩායම් දැක්වූ උනන්දුව මෙන්ම ජාතික ආශිර්වාදය සහිත නායකත්වයක අවශ්‍යතාවය අගය කරන බවද ඊට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරගෙන යන බවද උන්වහන්සේ සඳහන් කළහ