2019 මැයි 25 වන සෙනසුරාදා

වෙඩිබෙහෙත් පමාවෙන් කළුගල් සපයන්නෝ අමාරුවේ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

I සමන්ත විල්තෙර

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉදිකිරීම් වෙනුවෙන් කළුගල් සැපයීමේ නියුතු ව්‍යාපාරිකයන්ට ආරක්ෂක හේතූන් මත වෙඩිබෙහෙත් නිකුත් කිරීම පමාවීමෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි කළුගල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළ ආකාරයට මෙම ව්‍යාපාරයේ නියුතු ආයතන 900ක් දිවයින පුරා ක්‍රියාත්මකය.  රැකියාවේ නියුතු සේවකයන් ගණන 70000 කි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස ඔවුනට රජයෙන් වෙඩිබෙහෙත් නිකුත් කිරීම නිසි ලෙස සිදුනොවන බවට එම වැඩපොළ හිමියෝ චෝදනා කරති.  ඔවුන්ට ඒ සඳහා A.B.C යන ශ්‍රේණිගත කිරීම් යටතේ බලපත්‍ර නිකුත් කර ඇත. එහෙත් එම බලපත්‍රවලට අදාළ වෙඩිබෙහෙත් නිකුත් කිරීම අත්හිටුවීම නිසා මෙරට ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘතිවලට පවා කළුගල් සැපයීම බරපතළ ගැටලුවක් බව කළුගල් වැඩපොළ හිමියෝ පවසති.

මේ පිළිබඳව වෙඩිබෙහෙත් අලෙවි කටයුතු නියාමනය කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම චෝදනාව සත්‍යයෙන් තොර බවය. නාවික හමුදාවේ ප්‍රධාන වෙඩිබෙහෙත් ගබඩාවෙන් වරලත් වෙඩිබෙහෙත් අලෙවිකරුවන් 70කට පමණ වෙඩිබෙහෙත් අලෙවිය සඳහා බලපත්‍ර ලබා දී තිබෙන බවත් රජයෙන් බලපත්‍ර ලබාගත් ගල්වැඩපොළවලට වෙඩිබෙහෙත් අලෙවි කරන්නේ ඔවුන් විසින් බවත් එම කටයුතු සඳහා රජයෙන් හෝ නාවික හමුදාවෙන් කිසිදු වාරණයක් පනවා නැති බවත් ඔහු කීය. වෙඩිබෙහෙත් අලෙවියේ අර්බුදයක් හටගෙන තිබේ නම් ඇතැම්විට එය වෙඩිබෙහෙත් ව්‍යාපාරිකයන් සහ බලපත්‍රලාභී ගල්මෝල් හිමියන් අතර හටගෙන තිබෙන ගැටලුවක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.