2019 මැයි 18 වන සෙනසුරාදා

මැර ප්‍රහාර පසුපස විපක්ෂයේ හස්තයක් - රාජ්‍ය ඇමැති අලවතුවල

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 28

I හසිත් අංජන

පසුගියදා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී ගැටුම් පිටුපස විපක්ෂයේ දේශපාලන හස්තයක් ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා දේශයට පැවසීය.

ඇති වී තිබෙන තත්ත්වය අනුව ඇතැම් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බොරදියේ මාළු බෑමට තැත් කිරීම කනගාටුදායක කරුණක් බව හෙතෙම පැවසීය.

රටතුළ ඇතිවී තිබෙන මෙම කලබලකාරී තත්ත්වය හැකි ඉක්මණින් සමනය කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා පාට පක්ෂ, ජාති ආගම් භේදයකින් තොරව සියලු මහජන නියෝජිතයන් එක්විය යුතු බවද අමාත්‍යවරයා කීය.
රට තුළ ඇතිවී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය එළැඹෙන වෙසක් පොහොයන් පසුව නිමවී එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය ලෙස කරගැනීමට හැකියාවක් ජනතාවට පවතින බව රජය විශ්වාස කරන බවද රටේ ආර්ථිකය හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.