2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

මුස්ලිම් කොංග්‍රසය දෙකඩවෙයි!

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149


දිගුකලක් තිස්සේ පක්ෂ නායකත්වය සමඟ පැවැති අභ්‍යන්තර අර්බුදය පුපුරා යෑමෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වී තිබේ.

මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වූයේ එහි නායක රවුෆ් හකීම් සහ මහලේකම් හසන් අලි අතර පැවැති බලඅරගලය උග්‍රවීමෙන් පසුවය. පක්ෂ මහලේකම් ධූරය සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පැවැති අර්බුදකාරී තත්ත්වය ඊට හේතුවිය. මහලේකම් ධූරයේ බලතල කප්පාදු කිරීම නිසා මෙන්ම තමන්ට ලබාදීමට පොරොන්දු වූ ජාතික ලයිස්තු ධූරය අහිමි වීම නිසා හසන් අලි මහතා පසුවූයේ දැඩි කලකිරීමෙනි. පසුගියදා පැවැති පක්ෂයේ 27වැනි මහසමුළුවේ දී ඔහුට පක්ෂ මහලේකම් ධූරය හා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය හිමිවෙතැයි අපේක්ෂා කළද එය සිදු නොවීම නිසා හසන් අලි මහතා පක්ෂයෙන් ඉවත් විය.

මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර නායකයන් සහ කොළඹ නායකයන් අතර කලක පටන්ම ප්‍රබල කඹ ඇදිල්ලක් පැවැතිණි. පක්ෂයෙන් ඉවත් වූ හසන් අලි මහතාට අමතරව පක්ෂයේ නැගෙනහිර පළාතේ ප්‍රබලයකු වූ එහි සභාපති බෂීර් සේගු දාවුද් මහතා ද තනතුරෙන් ඉවත් කරනු ලැබීය.

පක්ෂයෙන් ඉවත් වූ හසන් අලි පාර්ශ්වය නැගෙනහිර උදානය නමින් වෙනමම පක්ෂයක් ලෙස නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වීමට තීරණය කර ඇත. එළඹෙන මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස තරග කිරීමටත් ඔවුහු සූදානමින් සිටිති. මේ මස 28වන දිනට පෙර පක්ෂය ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත මැතිවරණ කොමිසමට බාරදීමට නියමිතය. නව පක්ෂයට සේගු දාවුද් මහතා සම්බන්ධ කර ගැනීම පිළිබඳව දැන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

සකීෆ් සාම් තන්වීරි l