2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ඩොලරය රුපියල් 154ට නගී!

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48


පසුගිය සිකුරාදා (24) වනවිට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 154 ඉක්මවා අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව පවසයි.

2014 වසර අග වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 131.05ක අගයක් ගත් ශ්‍රී ලංකා රැපියල 2015 අවසන් වනවිට 144.06 දක්වා අවප්‍රමාණය වී තිබුණි. මෙය සියයට 9.03ක අවප්‍රමාණ වීමකි. 2016 වසරේ දෙසැම්බර් වනවිට රුපියලේ අගය 150 ආසන්නයේ උච්ඡාවචනය වෙමින් පැවති අතර මේ වනවිට තවදුරටත් පහළ ගොස් 153 ඉක්මවා ඇත. 2014 සිට මේ දක්වා මෙහි අවප්‍රමාණ වීමේ ප්‍රතිශතය 15%කි.

2011-12 සමයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය වෙළෙඳපොළට මැදිහත්ව රුපියලේ අගය වැඩිකිරීම සඳහා බිලියන 4ක පමණ විදේශ සංචිත වැය කළද රුපියල සියයට 15කින් පහළ යාම වළක්වා ගත නොහැකි විය. 

රුපියල රැකගැනීමට දිගටම සංචිත දියකර හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2014දී අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් වූ සංචිත ප්‍රමාණය 2015 අග වනවිට 7.3 දක්වාද, 2016 අගෝස්තු වනවිට 6.6 දක්වාද අනතුරුව මේ වනවිට 5.2ටද පහළ බැස තිබේ. ශ්‍රී ලංකාව වැනි විදේශ ණය මත යැපෙන රටක් විදේශ සංචිත දියකර රුපියල රැකගැනීමට යාම නිසා සිදුවන යහපතට වඩා අයහපත විශාල බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 

මෙලෙස රුපියල දුර්වලවීම නිසා අපේ ආනයනවලට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර සීනි, පරිප්පු, පිටි, සහල්, බෙහෙත්, කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම වළක්වා ගත නොහැකිය.

රුපියල අවප්‍රමාණය වීම පාවිච්චි කරමින් අපේ අපනයන ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ හැකි නමුත් පසුගිය කාලයේ දිගින් දිගටම අපනයන ආදායම පහත වැටුනි.

I යසවර්ධන රුද්රිගු