2019 මැයි 04 වන සෙනසුරාදා

පාසල් රකින්න පොලිසියත් එයි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

හෙටින් ආරම්භ වන පාසල් තුන්වැනි වාරය සඳහා පාසල් තුළ සහ පාසල් අවට විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.

ඒ අනුව පාසල් තුළ විදුහල්පති සහ පොලිස් ස්ථානාධිපතිවරු එක්ව විශේෂ ආරක්ෂක කමිටුවක් සකස් කරන ලෙස දන්වා ඇත. එම කමිටුව පාසලේ මව්පියන්, පාසලේ වැඩිහිටි දරුවන්, පාසලේ ආදි ශිෂ්‍යයන් එකතුව සකස් කරන ලෙස දන්වා තිබේ.

විශේෂයෙන්ම පාසල් අවට වාහන නැවැත්වීමේ සැලැස්මක් ක්‍රියාත්මක් කරන ලෙසත් පාසල් දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම, පොත් බෑග් පරීක්ෂා කිරීම සහ නේවාසිකාගාර තුළ ආරක්ෂාව තහවුරු කිරීම යන කාරණා රැසක් කෙරෙහි අවධානය යොමුකරන ලෙසට දන්වා ඇතැයි සඳහන් වේ.

එසේම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් හරහා පාසල්වල ආරක්ෂාව තහවුරු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට විදුහල්පතිවරුන් වෙත දන්වා තිබේ.