2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මානව හිමිකම් බාස්ලා හමුදාව බුද්ධි අංශ දුර්වල කළා - ජනාධිපති

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

I දේශපාලන වාර්තාකරු

රජය සහ තමා අතර පසුගිය වසර දෙක තුළ ප්‍රශ්න උග්‍රවූයේ ආරක්ෂක බුද්ධි අංශ දුර්වල කිරීම සහ හමුදා නිලධාරීන් සිරභාරයට ගැනීමට තමන් විරුද්ධ වූ නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා රටේ පවතින ආරක්ෂක තත්ත්වය විග්‍රහ කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙරට සිටින මානව හිමිකම් බාස්ලා හමුදාව සහ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා බොහෝ ප්‍රශ්න හටගත් බවද සඳහන් කළේය.

ඉන්දීය රජයේ බුද්ධි අංශ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මෙරට ආරක්ෂක අංශ දැනුම්වත් කර තිබියදී ඒ ගැන වගකිවයුතු නිලධාරීන් පියවර නොගැනීම බරපතළ වරදක් යැයි ද ඔහු වැඩිදුරටත් කීය. එම නිසා මෙම සිද්ධියට අදාළ වගකීම රජය බාරගත යුතු යැයිද එයින් තමන්ද නිදහස් නොවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.