2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

දේශීය වී වගාකළ පුත්තලම් ගොවියෝ හාන්සියි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

l රෝවන් පෙරේරා - පුත්තලම

පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන ගණනාවක වගාකළ ඖෂධීය වටිනාකමක් ඇති දේශීය වී කිලෝ ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් අලවි කර ගැනීමට නොහැකිව නිවාසවල ගොඩගසා තිබෙන බව ගොවීහු පවසති.

පසුගිය මහ කන්නය තුළදී වගා කළ පච්ච පෙරුමාල්, කලු හීනටි, සුවඳැල් වැනි දේශීය වී මෙලෙස විකුණා ගැනීමට නොහැකිව පීඩාවට පත්වී ඇත්තේ කරුවලගස්වැව සහ අවට ගොවි ගම්මානවල ගොවීන් පිරිසකි.

කෝන්වැව, මුරියාකුලම, එගොඩපිටිය, තේවනුවර වැනි ප්‍රදේශවල විශාල වශයෙන් මෙම වී නිවාසවල ගබඩා කර තිබේ.

දේශීය වී වගාව ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවින් වැඩි පිරිසක් දේශීය වී වගාව සිදුකර තිබිණි. ගොවිජන සේවා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත දේශීය වී වගා කළ ද අලෙවිකර ගැනීමට නොහැකි වී ඇත්තේ රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිකමින් බව ගොවීහු චෝදනා කරති.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වී මිලදී ගැනීමේදී දේශීය වීවලට දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් දේශීය වී නිවාසවල ගොඩ ගසාගෙන සිටීමට සිදුවී ඇති බවත් දේශීය වී වගාව සිදු නොකිරීමට තිරණය කළ බවත් ගොවීහු කියති. පෞද්ගලික අංශය මෙම වී මිලදී ගනිමින් යම් දායකත්වයක් ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී අලෙවි කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වන ඔවුහු පවසති.

මේ පිළිබඳ රජයේ උසස් නිලධාරියකුගෙන් විමසුවද ඔහු පැවසුවේ දේශීය වී වගාකර තිබුණ ද සංඛ්‍යා ලේඛන අනුව ප්‍රමාණය කොතරම්දැයි කිව නොහැකි බවයි.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00