2019 මාර්තු 30 වන සෙනසුරාදා

මධූෂ් දෙසතියකින් ලංකාවට?

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 302

I ගයාන් ගාල්ලගේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මධූෂ් දෙසතියකට පසු ශ්‍රී ලංකාවට බාරදීමට හැකිවනු ඇතැයි ඩුබායි පොලීසිය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ඔහු බාරදීම සිදුවිය හැක්කේ ලබන අප්‍රේල් 18 වැනිදා මධූෂ් සම්බන්ධ නඩුව එරට අධිකරණය ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවය. මාකඳුරේ මධූෂ්ට දැනටමත් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති නිසා ඔහු මෙරටට එවනු ලබන්නේ ඩුබායිහි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධරයන්ගේ රැකවරණ යටතේ බව රාජ්‍ය තාන්ත්‍රික බලධරයන් හා ආරක්ෂක අංශ පවසයි. ඔවුන් කටුනායකට පැමිණ මෙරට ආරක්ෂක බලධරයන්ට මධූෂ් භාරදීම සිදුකරනු ඇතැයි සැලකේ. ඊට පෙර ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩුබායි වෙත යෑමට දැනටමත් එරටින් අවසර ඉල්ලා තිබේ.

මේ අතර පසුගියදා මෙරටට පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, බන්ධනාගාර නියාමකවරයා සහ ඊට පසුදින ඩුබායි සිට මෙරටට පැමිණ නැවත මාලදිවයින සඳහා පැනයාමට උත්සාහ කළ කන්ජිපානි ඉම්රාන් ඇතුළු සිව්දෙනා සම්බන්ධයෙන් ලිඛිත සැලකිරීම් අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය සඳහන් කළේය. කන්ජිපානි ඉම්රාන්ට මෙරට අධිකරණ වරෙන්තු 10ක් ඇති බවද වාර්තා වෙයි.

දැනට මාකඳුරේ මධූෂ් සහ ඔහුගේ ගෝලයන් විසින් සිදුකළ හෙරොයින් ජාවාරම්, මිනීමැරුම් පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට අදාළව මේසතියේ ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සාක්ෂිකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මාකඳුරේ මධූෂ්ට එරෙහිව අවශ්‍ය චෝදනා පත්‍ර සකසා ඇති බවත් මෙරට සිදුවූ අපරාධවලදී ඔහුගේ සම්බන්ධතා සියල්ල අදාළ චෝදනා පත්‍රවල සටහන් කර ඇති බවත් සඳහන් වේ.