2019 මාර්තු 16 වන සෙනසුරාදා

රේගුව අයිති නැති බද්දක් ගහලා?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

I චමිඳු නිසල්

නිෂ්පාදන බදු අයකිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට කිසිදු නීතිමය පනතකින් අවසර දී නොතිබියදී රේගුව විසින් ව්‍යාපාරිකයන්ගෙන් එම බදු අයකිරීමෙන් බරපතළ මූල්‍ය විෂමාචාරයක් සිදුකර ඇතැයි යන චෝදනාව සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව තීරණය කොට තිබේ.

නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතෙන් එම බදු අය කිරීමට රේගුවට බලයක් නොමැත. එහෙත් 1990 සිට රේගුව මෙම බදු අය කරමින් සිටින අතර අධිකරණය හමුවේ සමාගම් කිහිපයක් විසින් එලෙස බදු අය කිරීම අභියෝගයට ලක්කර ඇත. එවන් නඩු හතරකදී රුපියල් කෝටි එකසිය හැටක් නැවත එම සමාගම් වෙත ගෙවීමට රේගුවට සිදුව තිබේ. මේ සියල්ල හෙළිදරව් වූයේ පසුගියදා පාර්ලිෙම්න්තු ගිණුම් කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකදීය.

1994 වසරේදී ශ්‍රී ලංකා රේගුවට නිෂ්පාදන බදු අය කිරීමට බලය ලැබෙන සේ පනත් කෙටුම්පතක් සකසා තිබේ. එහෙත් එම පනත සම්මත වී නැත. 2016 වසරේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකසා මුදල් අමාත්‍යංශයට එවූ බව කියැවෙන මුත් අනතුරුව එය අතුරුදන්ව ඇත. ඊට හේතුව ජාවාරම්කරුවන්ගේ බලපෑම් බව වාසුදේව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ. වසර 25ක් පමාකර තිබෙන පනත් කෙටුම්පතට සිදුවූ දෙය පිළිබඳව හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මසක් ඇතුළත වාර්තා කරන ලෙස ගිණුම්කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.