2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

මහ බැංකුවට තහංචියක්!

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 307


ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය ආරක්ෂා කර ගැනීමට ස්වකීය මූල්‍ය සංචිතයේ ඇති අරමුදල් යෙදවීම නතර කොට විනිමය පාලනය අත්හැරිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සතියේ රජයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා මේ බව දන්වා ඇත්තේ මහ බැංකුවට හා මුදල් අමාත්‍යාංශයට බව මහ බැංකු ආරංචි මාර්ග කියයි

දැනට මහ බැංකු මූල්‍ය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.2 දක්වා පහත වැටී ඇත. එබැවින් මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ විදේශ සංචිත තවත් ඩොලර් මිලියන 500කින් පමණ ඉහළ දැමිය යුතු බවය. එසේම මහ බැංකුව විවෘත වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව ඩොලරයේ වටිනාකම තීරණයට ඉඩදිය යුතුයැයිද මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදල ලබාදෙන තුන්වැනි ණය වාරිකය නිදහස් කිරීම සඳහා අවශ්‍ය විමර්ශනය කොට තීන්දු ගැනීමට තවත් මූල්‍ය අරමුදලේ විමර්ශන කණ්ඩායමක් ඉදිරි සතියේ මෙරටට පැමිණෙයි.

ව්‍යාපාරික වාර්තාකරු l