2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට එරෙහිව එළිසබෙත් වොරන් ජනපති සටනට

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

එළැ‍ඹෙන 2020 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණ සටනට ප්‍රබල අපේක්ෂිකාවක්  ඉදිරිපත්ව තිබේ. ඇය ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා එළිසබෙත් වොරන්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිය මුල්ම මැතිවරණ ව්‍යාපාරය ඇය පසුගියදා ඇරැඹූවාය. එළිසබෙත් වොරන් වේදිකාවට පැමිණීමට පෙර ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ ඒ ගැන විරෝධතාවකද නිරත වූහ.

මේ වනවිට 69 වන වියෙහි පසුවන එළිසබෙත් වොරන්, අමෙරිකානු සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරන්නියකි. 2016 වසරේ අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය දෙවන ධුර කාලය සඳහා මෙවර තරග වදින්නේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමිනි.

සිය මැතිවරණය ව්‍යාපාරය එළිදක්වමින් එළිසබෙත් වොරන් සඳහන් කළේ, සෑම පුරවැසියෙකු සඳහාම සේවය කරන අමෙරිකාවක් ගොඩනැගීම තම අරමුණ බවය. ධනේෂ්වර සමාජ ක්‍රමය විවේචනය කළ එළිසබෙත් වොරන්, සියලු වැසියන්ට සමාන අයිතිවාසිකම් සහිත අමෙරිකාවක් ගොඩනගන බවට පොරොන්දුවක්ද ලබාදුන්නාය.

2020 ජනාධිපතිවරණයෙන් තේරී පත්වන නව ජනාධිපතිවරයාගේ ධූර කාලය, 2021 වසරේ ජනවාරී 20 වැනිදායින් ආරම්භ වනු ඇති.