2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය : ජනපති උසාවි යයි?

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 199

I දේශපාලන වාර්තාකරු

පළාත් සභා මැතිවරණය පැරැණි මැතිවරණ ක්‍රමයට ඉක්මණින් පැවැත්විය හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව දැනට විසිරී තිබෙන උතුරු මැද - උතුර - සබරගමුව - වයඹ - නැගෙනහිර හා මධ්‍යම පළාත් සභාත් ලබන මස විසිරෙන දකුණ හා බස්නාහිර පළාත් සභාවලත් මැතිවරණ එක්වර පැවැත්වීම පිණිස අධිකරණ මතය විමසනු ඇතැයි සඳහන්ය.
ජනාධිපතිවරයා මෙම මත විමසුම සිදුකරන්නේ දැනට බලපවත්වන නීති පනත් අර්ථකථනය කෙරෙන අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව පැරැණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකිදැයි දැනගැනීමටය.

අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ රටේ කිසියම් නිශ්චිත කාරණයක් සම්බන්ධව අලුත් නීතියක් සම්මත වුවද එය කිසියම් හේතුවක් මත ක්‍රියාත්මක නොවන අවස්ථාවල පැරැණි නීතිය බලාත්මක බවය.

පළාත් සභා මැතිවරණ සඳහා මැතිසබය විසින් අලුත් නීතියක් සම්මත කළද තවමත් පළාත් සභා ඡන්ද බලප්‍රදේශ ගැන කෙරෙන සීමානිර්ණය කටයුතු නිමාවට පත්ව නැති නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ නිසා උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඡන්ද මාස 14ක් තිස්සේ ද මධ්‍යම වයඹ හා උතුරු පළාත් සභා ඡන්ද මාස 4ක් තිස්සේ ද කල්ගොස් ඇත.

එයින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවන නිසා ලබන මැයි 31දාට පෙර මෙකී මැතිවරණ පැවැත්විය යුතුයයි ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද වහා පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු යයි දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය. නව ඡන්ද ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය නිසා වසර ගණන් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වී තිබේ. එනිසා අර්ථනිරූපණ පනතේ විධිවිධාන ප්‍රකාරව පැරැණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සිදුකරන බව රජයේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

ඒ අතර පළාත් සභා ඡන්දය පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීම ගැන අවසන් තීන්දුවක් ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන සතියේ විශේෂ පක්ෂනායක හමුවක් කැඳවා ඇත.