2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මාලි රටේ ප්‍රහාරයකින් ශ්‍රී ලංකා හමුදාවේ 2ක් මරුට

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

සමන්ත ප්‍රදීප් විල්තෙර I

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක් ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයකට දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන අධිබල පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ලවීමෙන් යුද හමුදා කපිතන්වරයෙක් හා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් සෙබළු තිදෙනකු තුවාල ලබා ඇතැයිද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මාලි රටේ වේලාවෙන් සිකුරාදා උදේ 6.30ට පමණ බාහිර අප්‍රිකාවේ ඩුඑන්සා ප්‍රදේශයේ දෛනික මෙහෙයුම අවසන් කර පැමිණෙන සංග්‍රාමික රථ පෙළකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් WMZ සංග්‍රාමික රථයට සහ පිටුපසින් පැමිණි වෙනත් රථයකට හානි සිදුව ඇතැයිද ප්‍රහාරය සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

ප්‍රහාරයෙන් මියගිය කපිතාන් HWD ජයවික්‍රම RWP RSP (පොලොන්නරුව) සහ කෝප්‍රල් විජේකුමාර (පොල්පිතිගම) පදිංචි අය වෙති. තුවාල ලැබූවන් අතර ලාන්ස් කෝප්‍රල්වරුන් වන කුමාරසිංහ (පන්විලතැන්න) චන්ද්‍රසේකර (මහව) පුෂ්පකුමාර (කන්නත්තොට) ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.