2019 ජනවාරි 19 වන සෙනසුරාදා

පොලිස් කොමිසමේ ලේකම් ඇවන්ගාඩ් ලොක්කා අත්අඩංගුවට?

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 421

I ආරක්ෂක වාර්තාකරු

රක්නා ලංකා ආරක්ෂක ආයතනය සහ ඇවන්ගාර්ඩ් සමාගම අතර සිදු වූවායැයි කියන ගනුදෙනු පිළිබඳ විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සහ ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඊට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි වාර්තා වෙයි. මේ දෙදෙනාට අමතරව මෙකී සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්‍රාමික හමුදා ජෙනරාල්වරුන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පැවසේ. එහෙත් ඊට අදාළ අවසන් තීරණය මෙම සටහන ලියනවිටත් ගෙන තිබුණේ නැත.

වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරද්දී මෙම ගනුදෙනුව ගැන ඔහු ගනු ලැබූ ඇතැම් තීන්දු මෙම තීරණය ගැනීමට හේතු වී ඇතැයි වාර්තා වේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන් ඇවර්න්ගාර්ඩ් සමාගම හරහා නාවික යාත්‍රාවල ආරක්ෂක සේවයේ යෙදවීම වෙනුවෙන් කළ ගනුදෙනුවලට අදාළව මෙම ආයතනවල ප්‍රධානීන්ට චෝදනා එල්ල වී තිබේ. මේ අය පොලිස් භාරයට ගත් වහාම නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා මත නඩු පවරනු ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.