2019 ජනවාරි 12 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය අප්‍රේල්?

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

දේශපාලන වාර්තාකරුI

නිල කාලය හමාර වී තිබෙන පළාත් සභා හයේ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව දේශයට වාර්තා වේ.

මේ ගැන ස්වකීය නීති උපදේශකයන් හා දේශපාලන උපදේශකයන් සමඟ සාකච්ඡා කර ඇති ජනාධිපතිවරයා අර්බුදයට ලක්ව තිබෙන සීමානිර්ණය වාර්තාවද ගෙන්වාගෙන ඇත.

ඒ අතර පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයෝ පළාත් සභා මැතිවරණය පැරැණි ඡන්ද ක්‍රමයට පැවැත්වීමට තීන්දු කළහ. ඒ සඳහා අදාළ පනතට සංශෝධනයක් ගෙන ආ යුතුය. එහෙත් ආණ්ඩුව නියමිත ලෙස අදාළ සංශෝධනය සම්මත නොකළහොත් අලුත් ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීම ගැන ජනාධිපතිවරයා දේශපාලන පක්ෂනායකයන් ගණනාවක් සමඟ සාකච්ඡා කළේය.

ජනාධිපතිවරයා විසින් අලුතෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන්ද නිලකාලය හමාර වී තිබෙන පළාත් සභාවල ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරනු ඇතැයි ඒ අතර සඳහන් වෙයි. ප්‍රමාද නොකර ඡන්දය පැවැත්වීමට අදාළව තවත් විශේෂ දේශපාලන තීරණයක්ද ජනපතිවරයා විසින් ගනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

දැනට උතුර, උතුරුමැද, සබරගමුව, නැගෙනහිර, මධ්‍යම හා වයඹ පළාත් සභාවල නිල කාලය හමාර වී ඇත. ඒවායේ ඡන්ද සියල්ල කල්දමා තිබේ. උතුරු මැද නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්ද කල්දමා වසරකටත් වැඩි කාලයක් ගතවී ඇත.

මැතිසබයේ අයවැය සම්මත වීමෙන් අනතුරුව ලබන අප්‍රේල් මස අවසානයේ හෝ මැයි මස මුල පළාත් සභා ඡන්දය තැබීම ජනපතිවරයාගේ සැලැසුම බව කියැවේ. මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟද ළඟදීම සාකච්ඡා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01