2019 ජනවාරි 12 වන සෙනසුරාදා

බහුතරයක් නැති ආණ්ඩුවකට ව්‍යවස්ථා හදන්න බැහැ - විපක්ෂනායක මහින්ද රාජපක්ෂ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

දේශපාලන වාර්තාකරු I

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කිසිම නීතිමය හෝ සදාචාරමය හිමිකමක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් එය සකස් කළ යුත්තේ මහ මැතිවරණයක් තැබීමෙන් පසුව පත්වන බහුතරයක් සහිත රජයකට පමණි. අවශ්‍ය නම් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් අදාළ ව්‍යවස්ථා යෝජනා රටට ඉදිරිපත් කර ඒ සඳහා ජනතා අනුමැතිය ලබාගත හැකි යැයිද විපක්ෂනායකවරයා කීය.

ආණ්ඩුව මෙවර කළ ආකාරයට ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කමිටු වාර්තා සභාගත කරන්නේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් රැවටීම සඳහා යැයි පැවසූ හෙතෙම දේශපාලන සුජාතභාවයක් නොමැති ආණ්ඩුවකට මේ ආකාරයට රටේ මූලික නීතිය වෙනස් කළ නොහැකි යැයි අවධාරණය කළේය.