2017 ජනවාරි 07 වන සෙනසුරාදා

    හොරු අල්ලන්න බැරි ඩීල් නිසයි

     2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172

    - ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක

    සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය සඳහා වූ උපායමාර්ගික වැඩපිළිවෙළහි කොටස්කරුවෙක් ද විය. වර්තමානයේදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට කටයුතු කරන ඔහු ආණ්ඩු පෙරැළියට වසර දෙකක් ලබන අද (8) රටේ හා ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන දක්වන්නේ මෙවන් අදහසකි.

    රාජපක්ෂ ආණ්ඩුව පෙරළලා අද (8)ට වසර දෙකක් වෙනවා. ගත වූ අවුරුදු දෙකේදී කතාව තරම් වැඩ නෑ කියලයි මිනිස්සු කතාවෙන්නේ. මේ චෝදනාව පිළිගන්නවද?

    එවැනි කතාබහක් තිබෙන බව මම පිළිගන්නවා. හැබැයි ඒකට හේතුව තමයි වැදගත් වෙන්නේ. අඩුවක් වෙන්න පළමු වැනි හේතුව වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 වෙනකන් රටේ ගෙනිච්ච ආර්ථික සමාජීය හා සංස්කෘතික වැඩපිළිවෙළ මගින් ශ‍්‍රී ලංකා ජාතික දේහයට සිදුවූ බරපතළ හානියයි. ඔහු ආණ්ඩුව බාරදෙද්දී දළ ජාතික නිෂ්පාදිතයට අදාළව අපේ විදේශ ණය ප‍්‍රමාණය 68෴ක් යැයි කියන ආර්ථික උපදේශකයන් යටිකූට්ටු වැඩ මගින් දත්ත විකෘති කළ හැටි කියන්නේ නෑ. නමුත් ඇත්ත කතාව මේ ආණ්ඩුව බලයට එනවිට තිබුණේ හිස් භාණ්ඩාගාරයක්. සාමාන්‍යයෙන් 7෴ක වගේ ආර්ථික වර්ධන වේගයක් ගන්න  ඕනෑ නම් 35෴ක විතර ආයෝජනයක් කරන්න ඕනෑ. රාජ්‍ය ආයෝජනය තිබිය යුත්තේ එයින් 10෴කට අඩු ප‍්‍රමාණයක්. නමුත් පහුගිය ආණ්ඩුව සංවර්ධනය කියලා පෙන්නුවේ රාජ්‍ය පිරිවැය යොදා කරන ලද ආයෝජනයි. ඒ ආයෝජන ආර්ථික වශයෙන් උද්ධමනකාරියි. එතකොට ඒ උද්ධමනකාරීබව පාලනය කළ යුතුයි. ඒකට කලක් ගතවුණා. දෙවැන්න නම් ශීලාචාර සමාජයක් ගොඩනැගීම පිණිස වූ ව්‍යුහාත්මක විසඳුම් ලබාදීමයි. තෙවැන්න නම් අලුත් ආර්ථිකයක් හැදීමට සැලසුම් කිරීමේ අවශ්‍යතාවයයි. සැලසුම්වලට කාලයක් ගියා. 

    හොරු ඇල්ලීම සිදුවන්නේ නැතැයි ලොකු අඬෝවැඩියාවක් ජන සමාජයෙන් මතුව තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ ප‍්‍රධානතම දේශපාලන සටන් පාඨය වුණේ කුමක්ද?

    ඔබ කියන එක හරි. ප‍්‍රධාන සටන් පාඨය වුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා දූෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමයි. එතකොට අත්‍යවශ්‍යයෙන්ම කළයුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ කරුණු අතර හොරු ඇල්ලීම කියලා එකක් විතරක් ගත්තා. ඒක ලේසියි. ජනප‍්‍රියයි. හොරු අල්ලන්න යද්දී ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආවට පස්සෙයි අපිටත් ඒවා තේරුණේ. 

     ආණ්ඩු පෙරළන කතාව බොරු බයිලයක් 

    කෙළින්ම කිව්වොත් ඒ ප‍්‍රශ්න මොනවද?

    හොරු ඇල්ලිල්ල පමාවෙන්න මට අනුව නම් හේතු තුනක් තිබෙනවා. එකක් නම් ලංකාවේ පවතින නීතිය ප‍්‍රමාණවත් නොවීමයි. දෙවැනි එක තමයි ඩීල්. ලංකාව කියන පුංචි රට ඇතුළේ පෞද්ගලික හා දේශපාලන කියන ඩීල් වර්ග දෙකක් තිබෙනවා. තුන්වැන්න නම් මේවා ඉතාම කපටි හා සංකීර්ණ විදියට මෙහෙයවපු වංචා දූෂණ වීමයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට තරම් අපේ වත්මන් පොලිස් නිලධාරීන් තාක්ෂණිකව සංවේදී නෑ. දේශපාලකයාට රාජ්‍ය නිලධාරියාට අමතරව මේවාට සම්බන්ධ වී තිබෙන්නේ 21 වැනි සියවසේ ඉහළ සමාගම්.

    ඉහළ සමාගම් කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද?

    සරල උදාහරණයක් හැටියට සී.එස්.එන් නඩුව ගමු. ඒකෙ කළු සල්ලිවල මූලාශ‍්‍රය ලංකාවේ ඉදිවෙමින් තිබෙන ප‍්‍රමුඛ පෙළේ හෝටලයකට අදාළයි. ඒ අය තමයි ඩොලර් මිලියන 500ක් දීලා තිබෙන්නේ. එතකොට ඒ සාක්ෂිය ගන්න නම් අර සමාගමෙන් උඹ මේ සල්ලි දුන්නද කියලා අහන්න වෙනවා. එතකොට එයා කියන්නෙ මගෙන් මේ ප‍්‍රශ්නෙ ඇහුවොත් මම මේ ආයෝජනය දාලා ලංකාවෙන් යනවා කියලයි. මෙන්න මේ වගේ ප‍්‍රශ්නත් එක්ක තමයි මේක හිරවෙලා තිබෙන්නේ.

    සූක්ෂ්ම අපරාධ සොයන්න තරම් පොලිසිය තාක්ෂණිකව සංවේදී නැතැයි ඔබ කිව්වත් රජයේ විගණකාධිපතිවරයා නම් පවසන්නේ ආණ්ඩුව සංවේදී නෑ කියලයි. ඇත්ත කියන්නෙ කවුද?

    ආණ්ඩුව සංවේදී නෑ. මම ඒක පිළිගන්නවා. 

    විගණන කොමිසම වේලෙනවා. බලය දෙන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ?

    ඕක විතරක් නෙවෙයි. අපි බලයට ආපු කාලෙම හැම අමාත්‍යංශයකින්ම කළමනාකරණ විගනණයක් කරන්න කියලා ඉල්ලුවා. මොකද මූල්‍ය විගණනය කරලා හොරු අල්ලන්න බෑ. ඒ බොරු කතා. නමුත් කවුරුවත් කළේ නෑ. 

    ඇයි එහෙම නොකරන්නේ?

    ඒක දේශපාලන කැමැත්ත පිළිබඳ ප‍්‍රශ්නයක්. 

    ඒක කළයුත්තේ කවුද?

    එය කළයුත්තේ කැබිනට්ටුවයි. 

     සරත් විජේසූරිය මහත්තයා එදා වෙච්ච දේවල් දන්නෙ නැහැ 

    ගුණරත්නම්ට ක‍්‍රියාත්මක නීතිය වීරවංශට නැත්තේ ඇයි කියලා දේශපාලන කණ්ඩායම් අහනවා. ආණ්ඩුව කැමැති නම් ඇප ගන්න පුළුවන් යැයි බස්නාහිර මහ ඇමැතිම කියනවා. නීතියේ ආධිපත්‍ය රැකිලාද?

    මට ඔබ කියන දේ තේරෙනවා. සන්නිවේදනයේ පරස්පරතා නිසා ආණ්ඩුව ගැන සෘණාත්මක චිත‍්‍රයක් ඇඳෙමින් පවතින බව මට පේනවා. අපි මෝඩයෝ නෙවෙයිනෙ. අපිට මේවා තේරෙන්නේ නැත්තේ නෑ. ඒ කියන්නේ ක‍්‍රමානුකූලව මේ ආණ්ඩුවේ මුහුණත අඳුරු වෙන බව අපිට තේරෙනවා. ඒවා වළක්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. 

    හොරු ඇල්ලීම 2005ට සීමා කළේ ඇයිදැයි දේශපාලන විචාරකයන් අහනවා. මෙයින් ප‍්‍රශ්න කෙරෙන්නේ ආණ්ඩුවේ සද්භාවය නෙවෙයිද?

    මම කියන්නේ ජනවාරි 8 වෙනසට හවුල් වූ ජනතාවයි සිවිල් සමාජයයි පාලකයොයි රොමැන්තික මානසිකත්වයකින් හිටියා කියලයි. හැබැයි දැන් පාණ්ඩුකම්බල සෛලාසනය උණුවෙන්න පටන් අරන් තිබෙන්නේ. ආණ්ඩුව ඇපල් ගෙඩියක් නම් දැන් බාගයක් ඇතුළට කාගෙන ඇවිත් දැන් පටන්ගන්නේ එළියට යන කාලයයි. ආයෝජන නොකළොත්, හරි දේශපාලනය නොකළොත්, හරි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොකළොත් අපට බරපතළ අර්බුදවලට මුහුණදෙන්න වෙනවා. 

    දින සීය එක්ක ආණ්ඩුව විසුරුවලා මහ ඡන්දෙකට ගියා නම් එක පක්ෂෙකට බලය එනවා. එහෙම නම් මෙහෙම අවුලක් වෙන්නේ නෑ නේද?

    පළමු කාරණය නම් මාදුළුවාවෙ සෝභිත හාමුදුරුවොයි අපියි කිව්වේ ජනවාරි 9 වැනිදා විසුරුවන්න තමයි. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයයි, මංගල සමරවීර මහත්තයයි තමයි දින සීයෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ. 

    දින සීයට වැඩියෙන් ගත්තත් කමක් නැතැයි සෝභිත හාමුදුරුවෝ පස්සෙ කිව්වේ නැද්ද? 

    නෑ.. නෑ.. නෑ.  ඕක ගැන අහන්න ඕනෑ එල්මෝ ප‍්‍රනාන්දු මහත්තයාගෙන්. මොකද සංක‍්‍රමණීය තත්ත්වයට අදාළව වැඩ කළේ එතුමායි.  ඕක ගැන කවුරුවත් දන්නේත් නෑ. 

    එතකොට සරත් විජේසූරිය මහත්තයලා කියන්නේ බොරුද?

    ඔය විජේසූරිය මහත්තයා එහෙම ඒ කාලේ සාකච්ඡාවකටවත් හිටපු නැති කෙනෙක්නෙ. සෝභිත හාමුදුරුවෝ මෙහෙම කිව්වා අරහෙම කිව්වා කියලා එතුමා කියන්නෙ කොහොමද? එතුමා මෙලෝ දෙයක් දන්නේ නෑ. ඔය වැඩපිළිවෙල 2009 ඉඳලා අපි අරගෙන එනකොට හිටපු කී දෙනෙක්  ඕකෙ දැන් ඉන්නවද? සෝභිත හාමුදුරුවෝ දැන් නැති නිසා තමන්ම රන් අකුරින් ලියාගන්නවා. මම කියන්නෙ වෙච්ච දේවල් හොඳයි. එකම දේ ඔය කාලෙදිම 20 වැනි සංශෝධනයත් කරලා ඡන්ද ක‍්‍රමය වෙනස්කරගත්තා නම් ලංකාවක් හැටියට අපි හොඳ තැනක ඉන්නවා. ඒකට වගකියන්න ඕනෙත් එක්සත් ජාතික පක්ෂයයි. කල්මැරීම තුළ අද ඒක අපි සදාකාලිකව දුක්වෙන ප‍්‍රශ්නයක් වෙලා. 

    ජනවාරි 8 න් පස්සෙ මහ ඡන්දෙට ගියා නම් උද්යෝගිමත් එක්සත් ජාතික පක්ෂය ඡන්දපොළට යන බව ඔබ පිළිගන්නේ නැද්ද?

    මම හිතන්නේ ජනවාරි 8 ඡන්දෙට එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ ශක්තිය ලැබුණා කියලයි. ඊට එහා නෑ. එජාප ඡන්ද ප‍්‍රතිශතය 20෴ට ගියපු ආසනත් තිබුණා. අවශ්‍ය වැඩි ඡන්ද ප‍්‍රමාණය හැදුණේ මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ සිවිල් සමාජය හා පාවෙන ඡන්ද නිසයි. 

    ඔබ කියන විදියට මේ ඩීල් දාන්නේ කවුද?

    හැම දේශපාලන පක්ෂයක්ම. විශේෂයෙන්ම ප‍්‍රධාන පක්ෂ විතරක්ම නෙවෙයි. උදාහරණයකට කුමාර් ගුණරත්නම් එළියට දාන එකේ හා ඇතුළට දාන එකෙදි ප‍්‍රධාන පක්ෂවලට අදාළ නැති තව පක්ෂයක් ඩීල් දැම්මා කියලා මට හිතෙනවා. 

    පැහැදිලිව මේ වනවිට දේශපාලන පක්ෂ දෙක අතර බලඅරගලයක් මතුවෙලා තිබෙනවා නේද..?

    එහෙම තිබෙනවාද..

    එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්නේ අපි තව ටික කාලයයි කියලා ශ‍්‍රීලනිප නියෝජිතයකු වන බස්නාහිර මහ ඇමැතිවරයාම කියන්නේ ඇයි?

    දේශපාලන සතුරා කියන සංකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අංගයක් නෙවෙයිනෙ. බොල්ෂෙවික් අංගයක්. සතුරෙක් නම් විනාශ කරන්න ඕනෑ යැයි කිව්වේ ලෙනින්. දැන් ඒකෙ ආභාෂය අපටත් ලැබිලා තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා එකට ජාතික වැඩපිළිවෙළක ඉන්න ටිකක් අමාරුයි. ඉන්නත් ඕනෑ. ටිකක් පිට කහන්නත්  ඕනෑ. අමාරු වුණාම අයියෝ ගාන්න අම්මෝ ගාන්න වෙනවනෙ. ඒවා තමයි අපිට ඔය ඇහෙන්නේ. එහෙම නැතිව මම එය අර්බුදයක් හැටියට දකින්නේ නෑ. අර්බුදය තිබෙන්නේ ඔබ පටන්ගත් තැනයි. ඒ කියන්නේ ආර්ථිකයෙයි. 

     යූ.ඇන්.පීය ප්‍රශ්න මැද කල්මැරුවා 

    එතකොට හිටපු ජනාධිපතිවරයා මේ වසරෙදී ආණ්ඩුව පෙරළන බව කළ ප‍්‍රකාශය දේශපාලන අභියෝගයක් හැටියට බාරගන්නෙ නැද්ද?

    ඒ බොරු බයිලනෙ. ගන්නෙ කොහොමද කියලා මට කියන්නකෝ. එක්කෝ දෝෂාභියෝගයක් ගේන්න  ඕනෑ. තුනෙන් දෙකක බලය අපිට තිබෙන්නේ. ඒක කරන්න බෑනෙ. නැත්නම් පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවක් වෙන්න ඕනෑ. මෙහෙමයි. රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමා පැරදීම පිළිබඳ විශාල ලැජ්ජාවක් තිබෙනවා. මොකද එතුමා වැජඹුණේ ලංකාවෙ හිටපු අද්විතීය නායකයෙක් හැටියටනෙ. යුද්ධයත් ජයග‍්‍රහණය කරලා ඔහු වැඩ කළේ ජේ.ආර්වත් පාවිච්චි නොකළ විදියට ව්‍යවස්ථාපිත ඒකාධිපතියකු හැටියටයි. එහෙම වැඩ කළ මිනිහෙක් එයාගෙම කැබිනට් එකේ හිටපු ලේකම්වරයකුට පරාජය වුණාම හා පරාජය උහුලන්න බැරිවුණාම ඔය වගේ විලාප තියනවා. 

    ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂට බලයක් නෑ කියලද?

    එතුමාගෙ අනුගාමිකයන් බහුතරයක් ඉන්නවා. එතුමාත් ඉන්නවා. හැබැයි අතර මැද බ්රේක් ගැසීමක් ගැන ඒකෙන් කිසි ලෙසකින් කියවෙන්නේ නෑ. මොකද 19 වැනි සංශෝධනය කියන්නේ වෙන එකක්.  ඕක 2001 දි චන්ද්‍රිකායි මංගලයි එකතු වෙලා කළානෙ. හැබැයි දැන් කරන්න බෑ. දැන් තියෙන්නේ අලුත් විකට් එකක්. ඒකෙ සෙල්ලම් කරන්න  ඕනෑ වෙන විදියකටයි. හැබැයි එතුමාගෙ හිතන් ඉන්නේ තාම පරණ විකට් එකේ බැට් කරනවා කියලයි’ 

    පාර්ලිමේන්තුවෙද එහෙම වුණත් පළාත් පාලන ඡන්දයේදී බිම් මට්ටමින් වෙනසක් වීමට ඉඩක් නැතැයි කියලා කියන්න පුළුවන්ද?

    එකක් කියන්නම්. මහින්ද රාජපක්ෂ මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා වෙනම ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා මම ලංසු තියනවා. මොකද එහෙම කළොත් එතුමාගේ පුතුන්ගේ අනාගතය බිංදුවට වැටෙන බව එතුමා දන්නවා. 

    ශිරාල් ලක්තිලක කියන්නේ එජාපයේ බල ව්‍යාපෘතියේ උපායමාර්ගික වැඩපිළිවෙලේ හිටපු කෙනෙක්. දැන් මේ යෝජනා කරන දෙයින් වෙන්නේ පක්ෂ දෙක ගැටිලා ආණ්ඩුවෙ ආයුෂ කෙටි කිරීම නේද?

    ලංකාවේ 75෴ක් ඉන්නේ ග‍්‍රාමීය දිළිඳු ජනතාවක්. එයිනුත් 60෴කට වඩා ඉන්නේ සිංහල ග‍්‍රාමීය ජනතාවයි. ඒ අය ගැන කතා කරන්නේ නැතිව හුදු කොන්ක‍්‍රීට් සංවර්ධනය ගැන අපි 2001 දිත් කතා කළා. අදත් ඒකම නම් වෙන්නේ ඉගෙනගත්ත දෙයක් නෑනෙ. ඔබ කියන එක ඇත්ත. මම දැන් එජාපය එක්ක නෑ. නමුත් මම එජාපයට පවා දේශපාලන බලය ගැන හිතන්න යැයි ආරාධනා කරනවා. අනික එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීම හෝ බිඳවැටීම ජනාධිපතිතුමාගේත් පරාජයට හේතුවෙනවා. මේක පරස්පරයක් හැටියට ගන්න එපා. දැන් මේ දුවන්නේ මිරිඟුවක් පසුපස්සෙනෙ. ඒ ආර්ථික මිරිඟුව විහිළුවක්. ඔය ශාස්ත‍්‍රීය ආර්ථික  විද්‍යාඥයන්ට වැරදිලා. ඉංග‍්‍රීසි ඉගෙනගත් පලියට බුද්ධිමතෙක් වෙන්නේ නෑ. අංක ගණිතය ඉගෙනගත් පමණට ආර්ථික විද්‍යාඥයෙක් වෙන්නේත් නෑ. බැල්න්ස් ෂිට් එක කියන්නේ දේශපාලන ආර්ථිකය නෙවෙයි. 

    ♦ සංවාද සටහන- බිඟුන් මේනක ගමගේ
    සේයරුව | සුමුදු හේවාපතිරණ

     

     2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00