2016 දෙසැම්බර් 28 වන බදාදා

කැබ්නට් වෙනසක් ඉක්මනින් ඕනෑ (- ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා)

 2016 දෙසැම්බර් 28 වන බදාදා, ප.ව. 02:00 99

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා නීතිඥයකු මෙන්ම දේශපාලනය විෂයයෙහි තියුණු නිරීක්ෂකයෙකි. පවතින දේශපාලන තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ගමන්මග ගැන ඔහු මෙසේ අදහස් දක්වයි.

යහපාලන ආණ්ඩුව, සිවිල් සමාජය මෙන්ම ජනමාධ්‍ය සංවිධාන සමඟත් යම් උණුසුම් සංවාදයකට අවතීර්ණ වී සිටිනවා. පවතින දේශපාලන තත්ත්වය ගැන ඔබේ මූලික අදහස කුමක්ද?

මේ රජය බලයට ගෙනාවේ සිවිල් සමාජය, ස්වාමීන් වහන්සේලා, වෘත්තිය සමිති හා මාධ්‍ය සමාජයේ පිරිස් එකතු වෙලයි. විශේෂයෙන්ම සෝෂල් මීඩියා අමතක කරන්න බෑ. හැබැයි දැන් ආණ්ඩුව තමන්ව බලයට පත්කිරීම සඳහා ක‍්‍රියා කළ සියලුම සිවිල් සංවිධාන, ජනතාව සහ වෘත්තිය සමිති අමතක කරලා තිබෙනවා. යහපාලන සංකල්පය අද සම්පූර්ණයෙන්ම බිඳවැටිලා අර කලින් රජය වගේම වෙලා නැවතත් පරණ පුරුදු දේශපාලනය පටන්ගෙන තිබෙනවා. තමන්ගෙ ඥාතින්, හිතවතුන්, මිත‍්‍රයන් ළං කරගෙන යහපාලනයට පයින් ගහලා තිබෙන්නේ. 

මෙහෙම ප‍්‍රබල ප‍්‍රහාරයකට පදනම් වෙන උදාහරණ මොනවද?

බැඳුම්කර සිද්ධිය එක්ක තමයි මේ ඔක්කෝම ආවේ. ඊළඟට අනවශ්‍ය පත්කිරීම් කරද්දී ආරම්භයේදීම සිවිල් සමාජය මෙවැනි පත්කිරීම් යහපාලනයට පටහැනි බැවින් ඒවා නොකරන්නැයි රජයට බල කළා. ශ‍්‍රීලනිපයේ ආසන සංවිධායකයන් පත්කරද්දී දූෂිත පුද්ගලයන්ට දෙන්න එපා යැයි සිවිල් සංවිධාන කිව්වා. කනකට ගත්තේ නෑ. දැන් පසුගිය කාලයටත් වඩා විශාල දූෂණ තත්ත්වයකට ගිහින්. මේ අමිහිරි පසුබිමේ විදේශ ආයෝජන අපිට ඒවි කියලා හිතන්න අමාරුයි.  

දූෂිතයන් හා පරාජිතයන්ට පවා තනතුරු ප‍්‍රදානය කිරීමට සිදුවුණේ ආණ්ඩුවේ බල තුලනය හදාගන්න කියලයි ජනාධිපතිවරයා නිතරම කියන්නේ. ඒක වැරදිද?

නැහැ. මෙතැන බලතුලනය නෙවෙයි. ජනාධිපතිවරයා කියන්නේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයා. එතකොට තමන්ගෙ පක්ෂය කියලා නෙවෙයි ජාතික රාජ්‍යයක් කියලයි තීන්දු ගන්නේ. පරාජිතයන් පත්කරන්නේ ඇයි? ඒ ලැයිස්තුවේම අපරාජිත කණ්ඩායමක් හිටියා. නමුත් ප‍්‍රශ්නය වුණේ ඔවුන් පත්කළොත් තමන්ට බලය තහවුරු කරගන්න බැරි වෙයි කියලයි. මෙතැනදි බලන්න  ඕනෑ යහපාලනයද තමන්ගෙ බලයද කියලයි. අනෙක් අතට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ හැටියට ලැයිස්තුවේ අයම පත්කරන්න  ඕනෑ කියලා නියමයක් නෑ. රත්නසිරි වික‍්‍රමනායකත් වරක් පත්කළේ එහෙමයි. යහපාලනයට යන්න තමන්ගෙ හිතවත් අයම  ඕනෑ නෑ. තමන් හරියට ප‍්‍රතිපත්තියකට යනවා නම් ජාතික රාජ්‍යයකට වැදගත් වෙන්නේ ජාතික ප‍්‍රතිපත්ති. ඒ ජාතික ප‍්‍රතිපත්ති වෙනුවට ඉඩම් විකුණන, ජාතික සම්පත් විකුණන, ඥාතින්ට සළකන, පාසල් මිතුරන්ට තනතුරු දෙන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම නෙවෙයි විය යුත්තේ. 

 එක පැයෙන් හොරු අල්ලගන්න බැහැ 

ජාතික සම්පත් හා ඉඩම් විකිණීම කියලා ඔබ හැඳින්වුවත් ආණ්ඩුව කියන්නේ වේගවත් ආර්ථික සංවර්ධනයකට පිවිසීමක් මිස කිසි ලෙසකින් එවැන්නක් වෙන්නේ නෑ කියලයි?

දැවැන්ත සංවර්ධනයකට පාවිච්චි කරනවා යැයි කියනවා නම් ඒකට දැන් අවුරුදු දෙකක්ම ගියානෙ. අද වෙනකොට කිසිදු විදේශ ආයෝජකයෙක් ලංකාවට එනවද? ජාතික ආණ්ඩුව ලංකාවට ලස්සන වුණාට විදේශයන්ට ලස්සන නෑ. දේශපාලන අස්ථාවරත්වයක්නෙ තිබෙන්නේ. නිකමට බලන්න. එක පාරටම ජනාධිපතිතුමා මොකක් හරි කියලා අගමැතිතුමා ප‍්‍රතිචාර දක්වපු ගමන් කොටස් වෙළෙඳපොළ වැටෙනවා. ලෝකෙට පෙනෙන්නේ අස්ථාවර රටක්. අන්න ඒ නිසා ඒ අය ආයෝජනය කරනවා වෙනුවට මේ රටේ ඉඩම් ඉල්ලා සිටිනවා. දැන් පෝට් සිටි එක නිසා වෙච්ච පාඩුව පියවන්න අක්කර පහ‍ෙළාස්දාහක් විතර චීනෙට දෙන්න වෙලා තිබෙනවා. මෙහෙම ගිවිසුමක් ගහනවා නම් ලංකාවේ පාර්ලිමේන්තුවෙන් අවසරේ ගන්න ඕනෑ. වෙනත් රජයක් සමඟ ගිවිසුම් අස්සන් කරනවා නම් ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නැයි පැහැදිලිවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. අඩු ගානේ මේවා පාර්ලිමේන්තුවෙන්වත් සම්මත කරගන්න. එහෙම නැත්නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙක් මේ සිද්ධවෙන්නේ. 

හොරු අල්ලනවා කියලා බොරු කළා යැයි ආණ්ඩුවට චෝදනා එල්ලවෙද්දීම දූෂණය මඩින්න විශේෂ අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවීම ගැන රජය සාකච්ඡා කරනවා. විශේෂ අධිකරණ යාන්ත‍්‍රණය පල දරාවිද?

ඒ අයට බලය ලබාගැනීම සඳහා හොරා.. හොරා.. හොරු.. හොරු.. යැයි එක දිගට කියෙව්වා. රජයේ මුදල් නාස්ති කළාය ඒ නිසා මේ අය එලවමුය කියලා කෑගැහුවා. හැබැයි ඒ චෝදනා හරියට විභාග කරගෙන යනකොට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉල්ලා අස්වෙන්න සිදුවුණා. මෙච්චර යහපත් අරමුණකින් ක‍්‍රියා කරනවා නම් ඇයි ඉල්ලා අස්වෙන්න සිදුවුණේ? ඔය දුන් චෝදනාවලින් අද වෙනකොට අධිචෝදනා බවට පත්වෙලා තිබෙන්නේ කීයෙන් කීයද? චෝදනාවක් ගෙනාවට වැඩක් නෑ. විමර්ශනය කරන්න  ඕනෑ. ඒකට විශාල කාලයක් යනවා. ඒ කාලයෙන් පස්සේ සාක්ෂි නැත්නම් මොකද වෙන්නේ? දැන් ඒක දුර්වල වෙමින් යන්නේ. කරන්න තිබුණේ ඒක නෙවෙයි. හොරු අල්ලනවා යැයි කිව්වට එක පැයෙන් හොරු අල්ලන්න බෑ. මේ රටේ ජාතික ධනය විශාල වශයෙන් වෙන රටවල ආයෝජනය කරලා තිබෙනවා නම් පැහැදිලිවම ඒක ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න තරම් සාක්ෂි නෑ. අලුතින් අධිකරණ දාන එක නෙවෙයි කරන්න ඕනේ. අර අධ්‍යක්ෂ ජනරාල්වරිය කරගෙන ගිය වැඩ ටික හරියට කරන එකයි. ඒ වගේම තමයි අලුත් උසාවි, කොමිෂන් දාන්න පුළුවන්. හැබැයි කොමිෂන්වලට බලතල නෑ. අල්ලස් හා දූෂණ කොමිසමට ඊට වඩා බලය තිබෙනවා. වෙන අධිකරණ  ඕන නෑ. අඩු ගානේ නඩු විසි පහක් ගොනුකරන්න. ඒක කරගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව සාක්ෂි නැතිකමයි. කිව්ව දේ දැන් වමාරන්නයි වෙලා තිබෙන්නේ.

 මහ බැංකු අධිපති පත්කරන්න එපා කියලා කොච්චර කිව්වත් කෝ ඇහුවද 

එතකොට ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ක‍්‍රියාකාරිත්වය දේශපාලනීකරණය වී ඇති බවට නැගූ තර්කය වැරදිද?

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා සභාවක් පිහිටෙව්වා. ඒ ස්වාධීන කොමිෂන් සභා නවයට ස්වාධීනව කටයුතු කරගෙන යන්න බලය දුන්නේ නෑ. එක ඇමැතිවරයෙක් ඉන්නවා. අල්ලස් හා දූෂණ කොමිසමෙන් කොච්චර කැඳවනවාද? ඒත් සද්දයක් නෑ. හැබැයි එක මන්ත‍්‍රීවරයෙක් කොමිසම හමුවට නොපැමිණීමෙන් අපහාසයක් කරලා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුත් දානවා. එකේක විදියට සළකන්නේ. අල්ලස් කොමිසම දේශපාලනයට  ඕනෑ හැටියට නවාගන්න බැරිවුණාම ඒවායේ සිටින නිලධාරින් දඩයම් කිරීමයි කරන්නේ. ජනාධිපතිවරයාට මේක ස්වාධීන කරගැනීමේ වුවමනාවක් තිබුණත් අගමැතිවරයාට නෑ. මහ බැංකු අධිපති පත්කරන්න එපා කියලා කොච්චර කිව්වත් කෝ ඇහුවද,. ඊළඟට කෝප් කමිටු වාර්තාවෙන් ඔහුට ඉදිරිපත් කරන නඩුව අදටත් ගෙනැල්ලා නෑ වගේ. මේකෙන් පේන්නේ ආණ්ඩුව දුන් මූලික පොරොන්දුව බිඳවැටීමක්. 

බැඳුම්කර සිදුවීමට අදාළ කෝප් කමිටු වාර්තාව අගමැතිවරයා විසින් නීතිපතිවරයාට නිකුත් කරනු ලැබීම ගැන එහි සභාපතිවරයා කිසියම් විවේචනයක් කරනවා. කවුද හරි?

පැහැදිලිවම මෙතැන අගමැතිවරයා නෙවෙයි මැදිහත් වෙන්න  ඕනේ. මූලික වශයෙන් මේකට වගකියන්න  ඕනේ කතානායකවරයායි. දැන් කතානායකගෙත් කාර්යභාරය හා වෙනත් ඇමැතිවරුන්ගේ කාර්යය අගමැති කරන්න ගියාම මේක නතර වෙන්නේ කොහෙන්ද? කතානායකවරයා ස්වාධීනව හිතනවා නම් ඔහුට පුළුවන් කෝප් කමිටුවට දත් දෙන්න. එහෙම කළා නම් මේක චෝදනාවක් ලෙස ගෙන අධිකරණයේ නඩු විභාගයක් කරගෙන යන්න පුළුවන්. එච්චර  ඕන නෑ. මහ බැංකුවෙ අධිපතිවරයෙක් ඉන්නවනෙ. කෝප් කමිටු වාර්තාව අරගෙන අල්ලස් කොමිසමට ගිහින් ඒ හරහා මේකට අධිචෝදනා නගන්න ඔහුට පුළුවන්. මේක ඇත්තටම කතානායකවරයාට වුවමනාව තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වුවමනාව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට වුවමනාව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයට වුවමනාව තිබෙනවා. වුවමනාව නැත්තේ එක්සත් ජාතික පක්ෂයටයි. ආර්ථික සංවර්ධන පනත ගෙනැත් තිබෙන්නේ අවුරුදු තුනකට. මොන විහිළුවක්ද? තමන්ගෙ බලයෙන් අවුරුදු දෙකක් ගියාම ඉතිරි කාලයේ වැඩ කරන්නේ මෙහෙමද? 

සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ ඇති වැරුද්ද මොකද්ද?

ඒකෙ පළමු වැනි වැරැද්ද තමයි මේක ගේන්නේ අවුරුදු තුනකට වීමයි. මොකටද අවුරුදු තුනකට පනත් ගේන්නේ? තව බලය තිබෙන්නේ අවුරුදු තුනටයි කියලා ඒ අය දන්නවා. පනත පෙබරවාරිවල සම්මත කළත් ආයතන පිහිටුවන්න තව මාස හයක් යනවා. පනතින් කවුන්සිලයක් පිහිටුවනවා. ඔවුන්ට සිවිල් හෝ අපරාධ නඩු දාන්න බෑ. මුක්තියක් දීලා තිබෙනවා. ඔවුන් ගන්නා තීන්දු කිසිදු උසාවියක අභියෝගයට ලක්කරන්න බෑ. එක ඇමැතිවරයෙකුට සුපිරි බලතල දීලා තිබෙනවා. ඒකෙන් වෙන්නේ පළාත් සභාවල තිබෙන බලතල සම්පූර්ණයෙන් නැති වෙන එකයි. ඌව පළාත් සභාව වැඩි ඡන්ද හතරකින් මේ පනත පරාජය කරලා තැබුවේ පළමු වැනි වෙඩි මුරයයි. මේක පාර්ලිමේන්තුවට ගියාම විශාල ප‍්‍රශ්නයක් වෙනවා. බැට් මෑන් කෙනෙක් හදන්න මේ යන්නේ. අනෙක් අතට උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයාට කවුන්සිලයට සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීමට හැකියි. අනෙක් පළාත් සභාවලට ඒ බලතල නෑ. මේක කරන්න ඉඩලැබෙන්නේ නෑ. 

 සංවර්ධන පනතින් පළාත් සභා නැතිවෙනවා 

මේ තත්ත්වය තුළ 2017 වසරේදී ආණ්ඩුවේ දේශපාලන අභියෝගය මොන වගේ වේවිද?

බලය ලබාගත්තත් බලය රඳවා ගැනීමේ අභියෝගයට අද ආණ්ඩුව මුහුණ දී තිබෙනවා. 2017 කියන්නේ මැතිවරණ වසරක්. පළාත් සභා, පළාත් පාලන මැතිවරණ එනවා. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සීතල යුද්ධයක් යනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇවිල්ලා තිබෙනවා. මේ බෙදීම පාර්ලිමේන්තුවටත් ගිහින් තිබෙනවා. මේ නිසා ඉතාම අස්ථාවර වසරක් බවට 2017 පත්වේවි. සංවර්ධන විශේෂ විධිවිධාන පනතට එරෙහිව ඌව පළාත තැබූ පළමු වෙඩි මුරයෙන් දැන් බෙදීමක් ඇතිවෙලා ඉවරයි. මේක දිගටම වෙන්න පුළුවන්. වැඩිකල් යන්න කලින් විශාල අර්බුදයකට යනවා. මේ වෙලාවේ දැඩි දැක්මකින් ස්ථිර නායකත්වයකින් යුතුව විධායක ජනාධිපතිවරයා බලය සියතට ගෙන කෙළින් වැඩ කළ යුතුයි. දූෂිත ඇමැතිවරු ඉවත් කර කැබිනට් සංශෝධනයකට යා යුතුයි. නැවි නැවී හිටියොත් වෙන්නේ මහ විනාශයක්.

♦ සංවාදය - බිඟුන් මේනක ගමගේ
සේයාරුව - සුමුදු හේවාපතිරණ

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00