2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ඔබේ උදව් එපා එ.ජා. මහලේකම්ට ජනපති කියයි

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 1193

දේශපාලන වාර්තාකරු l

පවත්නා දේශපාලන ව්‍යාකූල තත්ත්වය සමනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිම උදව්වක් අවශ්‍ය නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට දැනුම් දුන්නේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සිදුකර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එ.ජා. මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකළේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 9.50ට පමණ එ.ජා. මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා දුරකතනයෙන් ජනපති ඇමතූ මොහොතේය. එ.ජා. මහලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපති අමතා ඇත්තේ මෙරට දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් ඇත්දැයි විමසීමටයි. ජනතාව පීඩාවට හෝ දුකට පත් නොකර ව්‍යවස්ථානුකූල බල හුවමාරැවක් කළ බවද ජනපතිවරයා මහලේකම්වරයාට දැන්වීය. එසේම ව්‍යවස්ථානුකූලව මැතිසබය කැඳවන වගත් නව රජය විධිමත් ලෙස ඉදිරියට යනු ඇතැයි සෑහීමට පත්වන බවත් ජනාධිපතිවරයා කියා ඇත.

තමන් වාර ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බැවින් ශ්‍රී ලංකාවට ආදරය කරන බව ජනපතිවරයාට පැවසූ එ.ජා. මහලේකම්ට ජනපති සිරිසේන කියා සිටියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන විවිධ අය කියන අසත්‍ය කතා නොපිළිගන්නා ලෙසය.

ජනපතිවරයා එ.ජා. මහලේකම් අතර කතාබහ ඉතා සුහද මට්ටමින් පැවතුණි. එසේම එම සාකච්ඡාව විනාඩි 5කට සීමාවූ බවද ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.