2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

මෛත්‍රී - මහින්ද - බැසිල් රහසේ හමුවෙති

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 1486

දේශපාලන වාර්තාකරු l

මාස තුනක පමණ කාලයක් තිස්සේ තිරය පිටුපස පැවති දේශපාලන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර රහසිගත තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පසුගිය බදාදා රාත්‍රියේ කොළඹදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොළඹ ආශ්‍රිතව පිහිටි හිටපු අමාත්‍යවරයකුගේ පෞද්ගලික නිවසේදිය. මෙයට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල මහතා තමන්ට බැසිල් රාජපක්ෂ මහතා මුණගැසිමට අවශ්‍ය බවට දැනුම්දීමක් කර තිබිණි.

එහෙත් ඊට බැසිල්ගේ ප්‍රතිචාරය වී තිබුණේ තමන් ජනාධිපතිවරයා හමුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට එක්වන්නේ නම් පමණක් බවය. ඒ අනුව අදාළ සාකච්ඡා සංවිධානය කැරිණි.

සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ අදාළ නායකයන් තිදෙනා පමණි. ආරාධිත නිවසේ ඇතුළු කුටියක රහසිගතව සාකච්ඡාව පැවැත්වෙද්දී තවත් හිටපු අමාත්‍යවරු ගණනාවක් එම නිවසේ රැඳී සිටියහ.

මෙකී සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ශ්‍රී.ල.නි.ප.යේ දෙපක්ෂය එක්වීමට අදාළ කාරණා බව කියැවේ. තීරණාත්මක අයවැය ඡන්දය ගැනද සාකච්ඡා කර ඇත. ශ්‍රීල.නි.ප.යේ දෙපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 96 දෙනා සහ රජය ගැන කලකිරී සිටින තවත් සෑහෙන මන්ත්‍රීන් පිරිසකගේ සහාය ලබාගෙන පාලන තන්ත්‍රයේ වෙනසක් කළ හැකි ආකාරය ගැන දෙපක්ෂය අදහස් හුවමාරු කරගෙන ඇත. ව්‍යවස්ථා සංශෝධනයකට මැතිසබයේ 2/3ක මන්ත්‍රීන්ගේ සහය ලබාගත හැකි බවට දෙපක්ෂයම පූර්ණ විශ්වාසය පළකර තිබේ. අනාගත ජනාධිපති ධුරය මැතිසබයෙන් පත් කෙරෙන නාම මාත්‍ර තනතුරක් විය යුතු බවත් අගමැති ධුරයට රාජ්‍ය පාලන බලතල පැවරිම ගැනත් අදහස් හුවමාරු වී ඇත.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසිය ගැන හෝ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන අදහස් හුවමාරු වී නැත.

මෙම සාකච්ඡාවේ මූලික හරය වී තිබෙන්නේ දෙපක්ෂයම එකිනෙකාට සහය වී බාහිර පාර්ශ්වවලද උදව් ඇතිව නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම බව කියැවේ. පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙකී සාකච්ඡාව හමාර වි ඇත්තේ භෝජන සංග්‍රහයකිනි.