2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

නව අගවිනිසුරු ඊවා වනසුන්දර

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 765

I අධිකරණ වාර්තාකරු

ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ලබන සතියේ පත්කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන වනසුන්දර මහත්මිය මෙරට අගවිනිසුරු පදවියට පත් දෙවැනි කාන්තාවද වන්නේය. හිටපු කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන රාජා වනසුන්දර මහතාගේ ඥාති සහෝදරියක වන ඊවා වනසුන්දර මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූයේ 1979 වසරේදීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු රැසක් හෙබවූ ඇය 2011 දී මෙරට ප්‍රථම නීතිපතිවරිය ලෙස පත්වූවාය. 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියකට පත්වූ ඇයගේ නීති ක්ෂේත්‍රයේ සේවා කාලය වසර 39කි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන වනසුන්දර මහත්මිය ඉංජිනේරුවරයකු වන ඉන්ද්‍රජිත් වනසුන්දර මහතාගේ බිරියයි.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ලබන 12දා විශ්‍රාම ගැනීමත් සමඟ නව පත්වීම සිදුකෙරෙන බව (දේශයට) වාර්තා වෙයි.