2018 ජුලි 28 වන සෙනසුරාදා

රුපියල බැස්සුවේ රත්රන්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

I යසවර්ධන රුද්රිගු

ශ්‍රී ලංකා රුපියලේ අගය අසීමාන්තික ලෙස පහළ යාමට එක් හේතුවක් වන්නේ අනවශ්‍ය පරිදි රත්රන් මෙරටට ආනයනය කිරීම බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 160 ඉක්මවා පහළ ගොස් තිබිණ.

2017 වසරේ සහ 2018 වසරේ මුල් කාර්තුව තුළ මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1087 වටිනා රත්රන් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකු ආරංචි මාර්ග පවසයි. 2017 වසර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650ක වටිනාකමින් යුතු රත්රන් ආනයනය කර ඇති අතර 2018 පළමු කාර්තුව තුළ පමණක් ගෙන්වා ඇති රත්රන්වල වටිනාකම අමෙරිකානු ඩොලර් 437කි. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද මේ ගැන ප්‍රශ්න කළේය.

මෙලෙස රත්රන් ආනයනය කිරීමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වී ඇති අතර ආනයනික රත්රන් ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා යොදා ගත්තේ නම් එම ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලැබිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. එහෙත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළයාම නිසා මෙරට ස්වර්ණාභරණ කර්මාන්තයේ පසුබැසීමකි.

එම තත්ත්වය මත ආනයනික රත්රන්වලට සිදුවූයේ කුමක්ද යන්න අබිරහසක් වන අතර, මෙම රත්රන් ජාවාරම්කරුවන් හරහා අසල්වැසි ඉන්දියාවට හෝ වෙනත් විදේශ වෙළෙඳ පොළවල් කරා රහසිගතව ගෙන යන්නට ඇතැයි සැකයක් ඇතිව තිබේ.