2018 ජුලි 21 වන සෙනසුරාදා

රථවාහන වැරදිවලට අලුත් දඩ 14ක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

I සමන්ත ප්‍රදීප් විල්තෙර

සංශෝධිත මෝටර් රථ වාහන පනත අනුව අලුත් රථ වාහන දඩ 14ක් පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා දේශය කළ විමසුමකට පිළිතුරු ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව තහවුරු කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන පරිදි පැරණි දඩ ක්‍රමයේ ස්ථානීය දඩ 23ක් පැවති බවද නව සංශෝධිත දඩ පත්‍රිකාවේ ස්ථානීය දඩ 33ක් සඳහන් බවද කියයි. පැරණි දඩ පත්‍රිකාවේ පැවති බලපත්‍ර නොමැතිව පැදවීම, වයස අවුරුදු 18ට අඩු අය පැදවීම හා බලපත්‍ර නොමැතිව අයෙක් සේවයේ යෙදවීම යන වැරදි ත්‍රිත්වය නව දඩ පත්‍රිකාවේ නොමැති වීමෙන් එම වරදට එරෙහිව අධිකරණයේ නඩු පැවරීම සිදු කෙරෙන බවද ඔහු පැවසීය. වැඩිදුරටත් කරුණු හෙළි කළ රැවන් ගුණසේකර මහතා සඳහන් කළේ උපදේශක බලපත්‍ර නොමැතිවීම සඳහා රුපියල් 2000ක්, බස් රථවල වැඩිපුර මගීන් පැටවීම සහ ලොරි රථ හෝ මෝටර් බයිසිකල්වල උපරිම බර රැගෙනයාම සඳහා රුපියල් 500 බැගින් හා සෙසු වැරදි 11ක් සඳහා රුපියල් 1000 බැගින් අලුත් දඩ පනවා ඇති බවය.