2018 ජුලි 07 වන සෙනසුරාදා

නීතිපති තීන්දුව පක්ෂ නායකයන්ට

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය නැවත නගාසිටුවිය යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන නීතිපතිවරයා ලබාදෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කතානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

දැනටමත් ඒ ගැන යෝග්‍ය නීතිමය පියවර ගන්නැයි ඉල්ලා කතානායකවරයා නීතිපතිවරයාට ලිපියක් යොමුකර ඇත. ඇමැතිනියගේ කතාවට අදාළ හඬපට හා පොලිස් වාර්තා පරීක්ෂාවෙන් පසු ලබන සතිය වන විට නීතිපතිවරයා ඊට අදාළව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය ගැන කතානායකවරයාට උපදෙස් ලබාදෙනු ඇතැයි දැනගන්නට තිබේ.

හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ආන්දෝලනාත්මක කතාවේ හඬපට නීතිපති නියමයෙන් පරීක්ෂා කර බලා ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගැනීමටද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අනතුරුව නීතිපතිවරයා වෙත එම වාර්තා ඉදිරිපත් කර මෙම සිද්ධිය ගැන ගතයුතු නීතිමය පියවර තීන්දු කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි. කෙසේ හෝ ලබන සතිය තුළ නීතිපතිගේ තීරණය කතානායකවරයා වෙත දැන්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ නීතිපති උපදෙස් ද සලකා බලා කතානායකවරයා සහ පක්ෂ නායකයන් විසින් ගනු ලබන තීන්දුව අනුව ඇමැතිනී විජයකලා සම්බන්ධව ඉදිරි පියවර ගැනෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00