2018 ජුනි 16 වන සෙනසුරාදා

සිවිල් ආරක්ෂකයේ මාර පඩි කැපිල්ලක්

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

I ජයන්ත සමරකෝන්

විල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇතැම් බලකා මූලස්ථාන රජයේ ඒකාබද්ධ අරමුදලට මුදල් බැරකිරීම සඳහා එහි සාමාජිකයන්ගේ වැටුපෙන් මුදල් අයකරගන්නා බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

දුරබැහැර පිහිටි මෙම බලකා මූලස්ථාන මඟින් සිදුකෙරෙන ව්‍යාපෘති නවතා දැමීම හා අඩපණ වීම හේතුවෙන් සිය සාමාජිකයන්ගේ කැමැත්ත පරිදි ඔවුන් නිවෙස්වල රඳවා වැටුප් ගෙවන බවටත් ඒ සඳහා වැටුපෙන් රුපියල් 7000ක මුදලක් ඒකාබද්ධ අරමුදලට ලබාදිය යුතු බවටත් නියෝග කර ඇතැයි ද පැවසේ. මෙම එක් සාමාජිකයකු වෙනුවෙන් සියලු දීමනා සහිතව රුපියල් 30000කට අධික ස්ථිර වැටුපක් ලබාදෙන බවද එයින් රුපියල් 7000ක් කපාගෙන නිවසට වී සිටීමට වැඩිදෙනා කැමැත්තක් දක්වන බවද සඳහන් වේ.

මේ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නිර්මාල් කොස්වත්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එවන් සිද්ධින් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණොත් වහාම අවශ්‍ය පියවර ගන්නා බවය.

මේ වනවිට බොහෝ බලකා මූලස්ථානවලට අලුතින් අණදෙන නිලධාරීන් පත්ව සිටින නිසා එවැන්නක් සිදුවීමට ඉඩ නැති බවත් ව්‍යාපෘති නිලධාරි බලකා මූලස්ථානවල සාමාජිකයන් බොහෝ දෙනකු කොළඹට කැඳවා ඇති නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රවල රාජකාරියේ යොදවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.