2018 ජුනි 02 වන සෙනසුරාදා

බැඳුම්කරෙන් සල්ලි බෙදූ රහස් ලියවිල්ල උසාවියට!

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1108

♦ කෝටි 136 ක් බෙදලා ඇමැතිලා මන්ත්‍රීලා ආගමික නායකයන් සල්ලි කුට්ටි අරන්
 බැඳුම්කරේ රහස් ලේඛන හෙළිකරන්න ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

ගායාන් ගාල්ලගේ l

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් කෝටි 136ක් පමණ මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් ඇතුළත් සී. 350 රහස්‍ය ලේඛනය අධිකරණය ඉදිරියේ හෙළිදරව් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නීතිඥ කණ්ඩායමක් සැරසෙන බව දේශයට වාර්තා වේ.

පසුගියදා විශේෂ බී වාර්තාවක් මගින් මෙම ලේඛනයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අදාළ කොටස පමණක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙළිකෙරිණි. එම නිසා අදාළ නඩුවේ නිල ලේඛනයක් ලෙස සම්පූර්ණ ප්‍රතිලාභ ලැබුවන්ගේ නම් ගම් ඇතුළත් සී. 350 ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එම නීතිඥ මණ්ඩලය තීරණය කර තිබේ.

අපගේ විමර්ශන අනුව සී. 350 ලේඛනයේ දිවයිනේ ප්‍රධාන වාණිජ බැංකු තුනක චෙක්පත්වලින් ගෙවීම් ලැබූ කොළඹ, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, පුත්තලම, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ආණ්ඩුවට සහ විපක්ෂයට අයත් ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, ආගමික නායකයන්ගේ සහ සමාජ ප්‍රභූන් ගණනාවකගේ නම් ගම් ඇතුළත් වන බව දැනගන්නට තිබේ.

එසේම පර්පචුවල් ට්‍රෙෂරිස් ප්‍රධානීන් සමඟ දුරකතන ඇමතුම් මගින් සංවාද පැවැත්වූ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් ගැනද එහි තොරතුරු ඇතුළත්ය. කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලනඥයකුගේ බිරිඳට හා දියණියට හැත්තෑවකට ආසන්න දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි ද තවත් දේශපාලනඥයන් රැසකට සියගණනක් වන දුරකථන ඇමතුම් ලැබී ඇතිබවද එම තොරතුරුවල සඳහන් බව කියති.

මෙම දුරකථන ඇමතුම්ලාභීන් අතර සිටින එක්තරා රැඩිකල් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකුට දුරකථන ඇමතුම් 38ක් ලැබී තිබෙන බවද දැනගන්නට ඇතැයි සඳහන් වේ.

අප සතු සෙසු තොරතුරුවලට අනුව මෙසේ ගෙවා තිබෙන සමස්ත මුදලින් සියයට 60ක් පමණ මුදල් ලබාදී ඇත්තේ රුපියල් දස ලක්ෂයකට වඩා අඩුවෙන් බවද දැනගන්න තිබේ.

එසේම මෙම සී. 350 වාර්තාව මේ වනවිට රාජ්‍ය ලේඛනාගාරයේ තබා ඇති අතර එහි සහතික කරන ලද තවත් පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලයේ රහස්‍ය සේප්පුවක තැන්පත් කර තිබෙන බව සඳහන් වේ. ඒ අතර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ මෙතෙක් වාරණය කරන ලද සංවේදී තොරතුරු ඇතුළත් කොටස්ද සහිතව පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නීති උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.