2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පොරොන්දු 400 කින් ඉටු කළේ 26 යි - මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

රජිත ජාගොඩආරච්චි l

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යහපාලන ආණ්ඩුවේ හතරවැනි අයවැය ලේඛනය සුරංගනා කතා මල්ලක් පමණක් යැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරයි.

දෙදහස් පහළොව වසරේ දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙතෙක් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛන හතර ඔස්සේ පොරොන්දු 400 ක් පමණ රටට ඉදිරිපත් කර තිබුණද ඉන් ඉටුකර ඇත්තේ පොරොන්දු 26 ක් පමණක් බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ සමයේ දී ඉදිරිපත් කෙරැණු අයවැය ලේඛනයන්හි සඳහන් කරුණුවලින් සියයට අසූ පහක් අනූ පහක් කරුණු ඉටුකර තිබිය දී වර්තමාන ආණ්ඩුවට ඉටු කිරීමට හැකි වී ඇත්තේ තම පොරොන්දු වලින් සියයට හතකටත් අඩු ප්‍රමාණයක් බවද ඔහු කීය.

ලබන වසරේ දී වෛද්‍ය පීඨ හතරක් අලුතින් ආරම්භ කිරීමට රජය යෝජනා කර ඇතත් ඊට වෙන් කර ඇත්තේ මහින්දෝදය තාක්ෂණාගාරයක් ඉදිකිරීමට වැයවන මුදලට සමාන මුදලකි. එනිසා මෙවර අයවැය ලේඛනය කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති කඩදාසියක් පමණක් බවද හෙතෙම පැවසීය.