2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ඩිලාන්ලට එස්.බී.ලට කොන්දක් නැහැ

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 604

 

ප‍්‍රවීණ රංගන ශිල්පි ඩබ්ලිව්. ජයසිරි

රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරලා ලබන සතියට හරියටම අවුරුදු දෙකයි. ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ආපහු හැරිලා බලද්දී මට නම් හරිම සතුටුයි. ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට නිදහසේ කතාබහ කරන්න, තමන් අදහස් කරන දේ කියන්න, තමන් හිතන දේ ලියන්න නිදහස ලැබුණේ රාජපක්ෂ රෙජිමය පෙරළුවාට පස්සෙයි. ඒක ඕනෑ කෙනකුට තේරෙනවනෙ. ඊට කලින් රජයට අයත් හා අයත් නොවන හැම මාධ්‍යයක්ම වැඩ කළේ මහින්ද රාජපක්ෂ රජයට ඕනෑ විදියටයි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය 2005 සිට 2015 දක්වා වෙන කිසිම දේශපාලන පක්ෂයක් වෙන කිසිම රාජ්‍ය නායකයෙක් මේ රටේ හිටියෙ නැති විදියට තමයි කටයුතු කළේ. රජයට අවශ්‍ය දේම කිව්වා මිස රජයට විරුද්ධව යම්කිසි අදහසක් පළ වුණා නම් ඒවාට ඉඩක් දුන්නේ නෑ. 

අද ඒ තත්ත්වය වෙනස් වෙලා ද?

අද හරියට මේ මාධ්‍ය කතාකරන්නෙත් එහෙම දෙයක් මේ රටේ වුණේ නෑ වගෙයි. ඇත්තටම සියලුම මාධ්‍ය කතාකරන්නේ 2015 ජනවාරියට කලින් තිබුණු තත්ත්වය අමතක කරලයි. ඒ කාලෙ තිබුණු තත්ත්වය අමතකද ඕගොල්ලන්ට? ඔයාම කල්පනා කරලා බලන්න. පත්තර කර්තෘවරුයි විද්‍යුත් මාධ්‍යවල ප්‍රධානියොයි රජ ගෙදරට ගෙන්නවලා කන්න බොන්න දිදී තමන්ට ඕනෑ එක ලියවාගත්ත එකනෙ කළේ. අද ඕනෑම කෙනකුට ලංකාව පුරාම ගිහින් වුණත් මේ රජය විවේචනය කරන්න නිදහස තිබෙනවා. අගමැති ජනපති ජනමාධ්‍ය ගැන තිබෙන විවේචනය ප්‍රසිද්ධියේම කරනවා. මැති ඇමැතිවරුත් නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. සිවිල් සමාජය වුණත් එහෙමයි. ඒක නෙවෙයිද ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය වන්නේ. 

ඒ වගේම උද්ඝෝෂණ වැඩ වර්ජනත් නිරන්තරයෙන් මතුවෙනවා. ආණ්ඩුවට එරෙහිව එල්ල වෙන මේ හඬ ගැන ඔබ දරන අදහස මොකද්ද?

ඔව්. මිනිස්සු බය නැතිව එළියට බැහැලා. මහින්ද රාජපක්ෂගෙ කාලේ මේ වගේ ස්ට්‍රයික් කරන්න ඉඩතිබුණාද.. වතුර යට තද කරගෙන හිටපු ඒ රබර් බෝල ටික දැන් උඩට එනවා. මොකද ඒවාට නිදහස දීලා තිබෙන්නේ. මිනිස්සු කතා කළ යුතුයි. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ අස්සේ මොන මොනවා හරි ප්‍රශ්න ඇතිකරලා බලය ගන්නයි. මොකද තමන් බලයෙ හිටපු කාලේ ගෙනගියේ මොන වගේ අපරාධකාරී දූෂිත බංකොලොත් දේශපාලනයක්ද කියලා ඔවුන් දන්නවා. කරපු අපරාධ වහගන්නත් ඒවා යළි කරන්නත් ඔවුන්ට අවශ්‍යයයි. ඒකයි මේ කෑගහන්නේ. 

ඒකාබද්ධ විපක්ෂය එහෙම ප්‍රශ්න අවුලනවා නම් ආණ්ඩුව ඒකට මුහුණ දෙන විදිය හරිද?

මොකද්ද ඉතින් ආණ්ඩුව මුහුණදෙනවා කියන්නේ.. ආණ්ඩුවට කරන්න තවත් වැඩ තියෙනවනෙ. ඒකාබද්ධ විපක්ෂෙ පස්සේ කොට කොටා යන්න බෑනෙ. ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරගන්නවා. මේ ආණ්ඩුව මේ ලෝකෙ බිහිවෙච්ච හොඳම ආණ්ඩුව කියලා මම කියන්නේ නෑ. මේකත් ලංකාවෙ මිනිස්සු හදන ආණ්ඩුවක්නෙ. මම කියන්නෙ අපිට අවශ්‍ය නිදහස ලැබුණා. මට නම් ඕනෑ වුණේ එච්චරයි. 

මේ ආණ්ඩුව ගැන කෙළින්ම කතා කළොත්?

එජාපයට මහමැතිවරණයෙදි තනි ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන ලැබුණේ නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩිපුර ආසන ලැබුණත් හදන්නේ සම්මුති ආණ්ඩුවක් යැයි කිව්වෙ මහමැතිවරණයටත් කලින් ඉඳලාමයි. දැන් ඔය ඒකාබද්දෙ අය කෑගැහුවාට 106ට තව ආසන කීපයක් එකතු කරන් අවශ්‍ය නම් ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ තරම් ඉඩ තිබුණා. බස්නාහිර පළාත් මහඇමැති දැන් මේ ආණ්ඩුව ගෙනියන්නෙ ශ්‍රීලනිපය යැයි කියනවා. අද මේ මොන සෙවල කතාද කියන්නෙ. දැන් ඔය සංවර්ධන විශේෂ විධිවිධාන කියලා පළාත් සභාවල දිගටම පනතක් පරද්දනවනෙ. මම අහන්නෙ එහෙම නිදහසක් තිබුණද මහින්ද රාජපක්ෂගෙ කාලෙ? දිවි නැඟුම පනත උතුරු පළාත් සභාවෙදි සම්මත නොවීම තුළ ශිරානි බණ්ඩාරනායක මහත්මිය පනතේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කළා. අන්තිමේදි අගවිනිසුරැවරියට පැය විසි හතරෙන් යන්න වුණා. ඒක හොඳයිද, ඒක හරිද කියලයි අපි අහන්නෙ. 

හොරු අල්ලනවා කියලා ආණ්ඩුව දීපු පොරොන්දුව ඉටුවෙලාද?

ඔව්. පොරොන්දු වුණා. ඔයා හිතන්නේ මේ හොරු අල්ලන එක ලේසි වැඩක් කියලද..? මේ හොරැ පහුගිය කාලේ හොරකම් කළ විදිය පෙනුණා නේද..? ඒ අය අල්ලගත්ත ඉඩම් ව්‍යාපාර කරපු ඉඩම්වලට අදාළ නඩුව උසාවි ගියාම ඒ අය මේවා අපේ නෙවෙයි කියනවා. ඊට පස්සෙ ඒවායෙ නාමික අයිතිකාරයෝ හැටියට සිටි අයත් මේවා අපට අයිතියක් නෑ කියනවා. හොරකම් කළේ හොඳට ප්ලෑන් කරලා කූට විදියටයි. මේවා අල්ලන්න නම් විශාල කාලයක් වගේම විශාල බලයක් අවශ්‍ය වෙනවා. මම කියන්නේ මේ කළ අපරාධ ගැන බලන්න වෙනම උසාවි පිහිටුවන්න වෙනවා. ලසන්ත වික්‍රමතුංගලා තාජුඩීන්ලා මරපු හැටි ගැන හොයන්න ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කළ හැටි ගැන හොයන්න වුණත් එහෙම වෙනම උසාවි දාන්න වෙනවා.

දූෂණ හා අපරාධ පරීක්ෂණවලදී ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය අවංක වුණාද?

ඒවා කරනවාට අකමැති අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා. මේ ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය කොච්චර ඉන්නවද.. ඔයා කියන්නෙ මේවට ඒගොල්ලො සම්බන්ධ නෑ කියලද.. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නෙත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න පක්ෂව ඡන්දය දීපු මිනිහෙක්. දේශපාලනය කතාකරනකොට අපි ඒවා අමතක කරන්නේ ඇයි. 

අමතක නොකර දේශපාලනය ගැන කතාකළත් සිවිල් සමාජ වැඩවලදි වැඩිය ඔබ දකින්නේ නෑ. දැන් සිවිල් සමාජ වැඩවලට යන්නෙ නැද්ද?

නෑ. නෑ.. මම පුරවැසි බලයෙ රුස්වීම්වලට යනවා. නමුත් මම නළුවෙක්. මේ දවස්වල ගොඩක් වැඩ. මම රඟපාන සිදු නාට්‍ය මේ දවස්වල මිනිස්සු බොහෝමයක් දරුණු විදියට බලනවා. ඒකෙ ෂූටිං. තවත් ටෙලිනාට්‍ය තිබෙනවා. මහරජ ගැමුණු එකේ රඟපානවා. තවත් චිත්‍රපට ගණනාවක් රඟපානවා. ඉතින් මේවාට මාසෙ දවස් තිස් එක බෙදුවාම පුරවැසි බලයෙ රැස්වීම්වලට යන්න තිබෙන කාලය අඩුයි. එහෙත් එහි ප්‍රධාන රැස්වීම්වලට හැමවෙලාවෙම මම සහභාගී වෙලා තිබෙනවා. එතන ඕනෑතරම් කථිකයන් ඉන්න නිසා මම කතාකරන්න යන්නේ නෑ. 

පුරවැසි බලය පවතින දේශපාලන තත්ත්වය මනින්නේ කොහොමද?

පුරවැසි බලය මේ ආණ්ඩුව හදන්න මහන්සි වුණා. ඒක ඇත්ත. හැබැයි පුරවැසි බලය හරි වෙන කවුරැ හරි මේ පත්වෙච්ච අය බෝධිසත්ව ගුණෝපේත අය කියලා හිතනවා නම් ඒක මහ මෝඩකමක්. මේ තමයි දකුණු ආසියානු දේශපාලනයේ හැටි. ඩීල් යනවා. ඩීල් නැතිව ලංකාවෙ දේශපාලනය කරන්න බෑ. පාස්පෝට් කේස් එකට විමල් වීරවංශව රිමාන්ඩ් කරන්න පුළුවන්කම තිබෙද්දිත් රනිල් වික්‍රමසිංහ එයාව එළියෙ තියලා තිබෙනවා යැයි සමහරු කියනවා. ශ්‍රීලංකා එක කැඩීම සඳහා යූඑන්පී කොන්ත්‍රාත්තුවක් දීලාලු. මම කියන්නෙ හොඳයි කියලා. 

පක්ෂ කඩන එක හොඳ වෙන්නෙ කොහොමද?

මම කියන්නෙ ශ්‍රී ලංකා එක දිය කරලාම දාන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කියන්නෙ කිසි ප්‍රතිපත්තියක් නැති පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ 56 දි පැවැති ධනපති පංතියට එරෙහිව ධනපති පංතියෙම කොටසක් ඉදිරිපත් වීමෙන්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා බමුණු කුලේ බිඳවැටුණා යැයි කිව්වාට 56 දි වුණේ එක බමුණු කුලයක් වෙනුවට තව බමුණු කුලයක් පාලනයට ආපු එකයි. ශ්‍රීලනිප කියන්නේ එන එන හැටියට ගහඋළුවස්සා කියලයි. ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. 

ඔබ කියන්නෙ එජාප ප්‍රතිපත්ති පැහැදිලියි කියලද?

යූඑන්පී ආර්ථික ප්‍රතිපත්ති ධනපති වෙන්න පුළුවන්. මම කියන්නෙ ධනපති වුණාම මොකද රට හදන්න පුළුවන් නම්. මේ බඩගින්නෙ උලා කකා ඉඳලා මැරෙනවට වඩා හොඳ නැද්ද ධනපති ක්‍රමයට හරි ගිහිල්ලා රට දියුණු වෙනවා නම්. 

දූෂණ වංචා සොයන්න වෙනම යාන්ත්‍රණයක් පිහිටුවන්න කියලා ඇමැතිවරැ 16කටම මැදිහත්වෙලා සංදේශ දාන්න සිදුවෙනවා. රට හරි අතට යනවා නම් මෙහෙම වේවිද?

ඇයි දෙයියනේ මේක තේරෙන්නේ නැද්ද පත්තරකාරයන්ට. මේ ආණ්ඩුව ඇතුළේ දෙගොල්ලක් ඉන්නවා. මේ ආණ්ඩුව ඇතු‍ළෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ආපු ඔය ඩිලාන් පෙරේරලා, එස්.බී දිසානායකලා වගේ අයත් ඉන්නවනෙ. කිසි කොන්දක් ප්‍රතිපත්තියක් තියෙන අයද? නෑ.. ඔය ඩිලාන් පෙරේරා කියන මිනිහට එස්.බීට මහින්ද රාජපක්ෂට විරුද්ධව කතාකරන්න කිසිම හයියක් තිබුණේ නෑ. හැබැයි අද මේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා අගමැතිතුමාටයි යූඑන්පීකාරයන්ටයි හැම දේටම බණිනවා. 

එහෙම නම් ඉතින් මේ පක්ෂ දෙකක් එකතු වෙලා රට පාලනය කරන්න යන එකෙන් නේද ඔක්කොම අවුල් එන්නේ?

ඔව්. ඔව්. මටත් ඒක ඇත්ත කියල හිතෙනවා. මොකද ශ්‍රීලනිපෙ අය මේ ආණ්ඩුවට එකතුවුණේ මේ රට හදන්න නෙවෙයි. ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ලබාගන්නයි. නමුත් ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ ව්‍යවස්ථාව වෙනස්කරන්න අවශ්‍යතාවයක් තිබුණා. මේ ව්‍යවස්ථාව වෙනස්කරන්න මේ කපටින්ගෙ ඡන්ද ටිකත් ඕනෑනෙ. මේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ට කිසි දෙයක් ඕන නෑ. ඒ අයට ඕනෑ මැරෙනකන් හොඳට කාලා බීලා ඉන්නයි. නිකන් හිතලා බලන්න. 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක බලයට ආපු මේ කට්ටිය කිසි වෙනසක් නැතිව දිගටම ඇමැතිවරු හැටියට ඉන්නවනෙ. මහාචාර්ය වුණාට මෝඩකම හින්දා අර ජී.එල් පීරිස්ට කෙළවුණා. නැත්තන් එයත් දිගටම ඇමැති. 

හැබැයි මේ අවුරුද්දෙදී ආණ්ඩුව පෙරළනවා යැයි මහින්ද රාජපක්ෂ කියනවා. ආණ්ඩුව පෙරළුවොත් මොකද වෙන්නේ?

මම කියන්නද එකක්. මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පෙරළන්න බෑ. පෙරළන්න දෙන්නෙත් නෑ. තව එකක් මම කියන්නම්. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ දාලා යන්නෙත් නෑ. මහින්ද ඔය පොදු ජන මොකද්ද එකට යන්නෙ නෑ. ඔහු ඒ තරම් මෝඩයෙක් නෙවෙයි. හොඳට දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. එයාත් ඔය එක එක්කෙනා කියන කතාවලට ඔව්වොව් කිය කියා රට පුරා යනවා. යන යන තැන සෙනඟ රැස්වෙනවා. අත්පුඩි ගහනවා. එයාටත් පොඩි ආතල් එකක් එනවනෙ. ආණ්ඩුවට පක්ෂව කතා කර කර ගියාට මිනිස්සු එන්නේ නෑනෙ. විරුද්ධව තමයි කතාකරන්න වෙන්නේ. නමුත් එයා පාර්ලිමේන්තුවෙදි නිශ්ශබ්දයි. කිසි කතාවක් නෑ. පාර්ලිමේන්තුවේ වැටුපයි දීමනාවයි ගන්න අවශ්‍ය ප්‍රමාණයට එයා එනවා. එච්චරයි. 

ඔහු කියන්නෙ මෛත්‍රිපාල සිරිසේන ජනපති යටතේ අගමැති ධුරයට වුවත් සූදානම් කියලයි. මෙවැනි තත්ත්වයක වෙනසක් වීමට ඉඩක් නැද්ද?

මොන වෙනසක්වත් වෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ එක එක වෙලාවට එක එක දේ කියනවා. තමන්ගෙ දරු පවුල නඩුවලින් බේරාගන්න කරන සටනකයි ඔහු අද නිරතවෙලා ඉන්නේ. ඒ හැර අන් කිසිවක් නෑ. 

හැබැයි ඒ සමඟම ශ්‍රීලනිප ඇතැම් ඇමැතිවරු කියන්නෙත් සම්මුතිවාදෙන් මෙතෙක් ආවත් 2017 දි රැඩිකල් තීන්දු ගන්නවා කියලයි. මේ කතා සියල්ල ගත්තාම ශ්‍රීලනිපය එජාපයට කොකා පෙන්නන්න බැරි නැද්ද?

ඔව්. කොකා පෙන්නනවා කියලා අපි දන්නවා. හැබැයි ඒ අය කියන විදියට යූඑන්පී එකට කොකා පෙන්නන්න බෑ. යූඑන්පී එකේ ඉන්නෙ ගොන්නු කියලා හිතුවද? යූඑන්පී එකේ ඉන්නෙ බූරුවෝ කියලා හිතුවද? යූඑන්පී එකට ප්ලෑන් එකක් නෑ කියලා හිතුවද? ඒගොල්ලන්ගෙත් ඩීල් තියෙනවා. ඒ ඩීල් නැතිව බෑ මේ රටේ දේශපාලනය කරන්න. බෝධිසත්ව ගුණෝපේත වෙන්න ගිහින් තමයි විජය කුමාරණතුංගට වෙඩිකන්න වුණේ. 

යූ.එන්.පී එකට ඔබ කියන විදියට ප්ලෑන් එකක් තිබුණත් බැඳුම්කර ප‍්‍රශ්න. විදෙස් සමාගම්වලට ඉඩම් පැවරීමේදී මතුව තිබෙන ප‍්‍රශ්නත් එක්ක තාමත් පක්ෂයක් හැටියට ජනප‍්‍රසාදය රඳවාගන්න ඔවුන්ට හැකිවෙලා යැයි ඔබ හිතනවාද?

ජනතා ප‍්‍රසාදය රඳවාගැනීමේ ප‍්‍රශ්නයක් නෑ. මොකද ඔය සංවර්ධන වැඩ ටික මේ අවුරුද්දෙ මුල පටන්ගන්න බව අගමැතිවරයා කියනවා. එතකොට ඔය ප‍්‍රශ්න සේරම ක‍්‍රමානුකූලව යටපත් වෙලා යනවා. මිනිස්සුන්ට අතට සල්ලි ඕනෑ. දියුණු වෙළෙඳපොළ ක‍්‍රමයක්  ඕනෑ. ඒකට රට තුළ සාමයක් මිනිස්සු අතර සහජීවනයක් ඇතිවෙන්න ඕනෑ. මේ මහින්ද රාජපක්ෂලා නැවත උත්සාහ කරන්නේ ජාතිවාදය අවුස්සන්නනෙ. ඒකටම ලෑස්තිවෙලා සිටින බුද්ධාගම හැර අනෙක් ඔක්කෝම කරන සමහර හාමුදුරුවරුත් ඉන්නවා.

හොඳයි. මහින්ද රාජපක්ෂ මහතා කවර හෝ උපායකින් බල පෙරළියක් වෙනුවෙන් දේශපාලන නායකත්වය දුන්නොත්?

මහින්ද රාජපක්ෂ යළිත් බලයට පත්වීමට ගනු ලබන ඕනෑම පියවරකට එරෙහිව මම එළියට බහිනවා. ඒක අනිවාර්යයි.

♦ සංවාදය - බිඟුන් මේනක ගමගේ