2017 ජුලි 15 වන සෙනසුරාදා

සර්ව පාක්ෂික සමුළුවක්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122


පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරනු ලබන නව ව්‍යවස්ථා කෙටුම්පත සර්වපාක්ෂික සමුළුවකින් අනුමත කරවා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ පසුගියදා මහා සංඝරත්නයෙන් ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධව එල්ල වූ විරෝධතා සැලකිල්ලට ගනිමිනි. 

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර හමාර වූ වහාම සර්වපාක්ෂික සමුළුව කැඳවෙයි. මැතිසබයේ නියෝජනය වන පක්ෂ මෙන්ම මැතිසබය නියෝජනය නොකරන පක්ෂවලටද ප්‍රධාන පෙළේ ජාතික නායකයන්ටද සර්වපාක්ෂික සමුළුව සඳහා ඇරුයුම් කෙරෙන බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග පවසයි. 

සර්වපාක්ෂික සමුළුව සාකච්ඡා කොට සම්මත කරන ව්‍යවස්ථා කෙටුම්පත ඉන් අනතුරුව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට හා සෙසු ආගමික නායකයන්ට ඉදිරිපත් කෙරේ. ඒ අයගේද මතය ලබාගෙන ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රජයේ සැලැසුමයි.

ජනාධිපතිවරයා දැනටමත් මෙම සැලැසුම ගැන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සමඟ මූලික අදහස් හුවමාරුවක් කරගෙන ඇතැයි දැනගන්නට තිබේ.

I දේශපාලන වාර්තාකරු