2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

හම්බන්තොට ගිවිසුමට බලවත් රටවල් 3ක විරෝධය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 370

ව්‍යාපාරික වාර්තාක l

හම්බන්තොට වරාය උපාය මාර්ගික ආයෝජනයක් ලෙස චීනයට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියාවට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය හා ජපානයද ශ්‍රී ලංකාවට සිය විරෝධය ප්‍රකාශ කර තිබේ. යම් හේතුවක් මත චීනය සමඟ හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුත්තක් සිදුවන්නේ නම් වරායේ පූර්ණ පාලනය ආරක්ෂාව හා ඇතුළුවීම් හා පිටවීම් සියල්ල ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාලනය කළ යුතු යැයිද මෙම රටවල් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

චීනය මෙයට පෙර පකිස්තානයේ ගව්ඩාර් වරාය සමඟ මෙබඳුම ආයෝජනයක් සිදුකළ අතර එය කලාපීය ආරක්ෂක බලතුලනයට ප්‍රබල බාධකයක් වීම නිසා ඇමෙරිකාව, ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවට මෙසේ සිය විරෝධය පළකළ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙම ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීම සඳහා රජය ත්‍රිකුණාමල වරාය ඉන්දීය සහ ජපන් ආයෝජනයකින් සංවර්ධනය කරන ලෙස ආරාධනා කර තිබේ. ඒ හැර ත්‍රිමලේ තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දියාව සමඟ උපාය මාර්ගික ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට යෝජනා කර ඇත.