2021 ජනවාරි 09 වන සෙනසුරාදා

අලයි රතුලූනුයි අතරමැදියාට මරු හොද්දක් වෙලා

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

I යසවර්ධන රුද්රිගු

විවෘත වෙළෙඳපොළේ මේ වනවිට රතු ලූනු කිලෝවක මිල රුපියල් 900කට ආසන්නව ඉහළ ගොස් ඇති අතර දිවයිනේ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල රතුලූනු කිලෝව රුපියල් 890 හා 840 අතර මිල ගණන්වලට අලෙවි කරන බවද කියති.

එසේ වුවද පිටකොටුවේ තොග වෙළෙඳුන් පවසන්නේ රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 350ක් වන බවය. ඉදිරි දිනවලදී මෙම මිල තවත් අඩුවනු ඇති බව ඔවුහු කියති.

ඒ අතර ආනයනික අර්තාපල් කිලෝවක මිල සුපිරි වෙළෙඳසල්වල රුපියල් 300 දක්වා ඉහළ නැග තිබේ. මේ හේතුව නිසා පාරිභෝගිකයන් විශාල අපහසුතාවකට පත්ව ඇති අතර රතුලූනු කිලෝවකින් සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන් රුපියල් 300කට ආසන්න ලාභයක් ලබාගන්නා බව වෙළෙඳපොළ ගවේෂණවලදී හෙළිවී තිබේ. ආනයනික අර්තාපල් කිලෝවක මිල මෙයට පෙර රුපියල් 150කට ආසන්නව පැවතිණි.

මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමේදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙලෙස මිල ඉහළ යාමක් ගැන තමන් දැනුවත්ව නැති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවය.

රතුලූනු සහ අර්තාපල් දැනට දිවයිනේ බොහෝ ලක් සතොස වෙළෙඳසල්වල හිඟයක් පවතී. ඇතැම් ඒවායේ ඇත්තේම නැත.