2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

එෆ්.සී.අයි ඩියෙන් බැටකෑ අයට වෙනම සහන සලසන්න – ඇල්ලේ ගුණවංශ හිමි

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

I චමිඳු නිසල්

යහපාලන රජය විසින් පිහිටුවන ලද එෆ්.සී.අයි.ඩී (මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය) ස්ථාපිත කළ ගැසට් පත්‍රය නීත්‍යානුකූල නොවන බව එම රජයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාම ප්‍රකාශ කර ඇති බව දේශය සුරුකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති  ඇල්ලේ ගුණවංශ හිමියෝ දේශයට පැවසූහ.

හිටපු අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ ද එෆ්.සී.අයි.ඩිය මගින් ගත් ක්‍රියාමාර්ග නිසා මෙරට රාජ්‍ය සේවයේ ප්‍රධානියා වූ ජනාධිපති ලේකම්වරයාගේ සිට රාජ්‍ය නිලධාරීන් සිය ගණනක් පීඩාවට පත් වූහ. ඇතැමුන් බන්ධනාගාර ගත වූ අතර ඇතැම් අයගේ රැකියා පවා අහිමි විය. ඇතැම් පවුල්වල දූ දරුවන්ගේ ආවාහ විවාහ පවා කඩාකප්පල් වූයේ එෆ්.සී.අයි.ඩිය මගින් දෙමව්පියන් හොරුන් ලෙස හංවඩු ගැසීම නිසා බව උන්වහන්සේ පැවසූහ. එම නිසා එෆ්.සී.අයි.ඩියේ නීතිවිරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව වහා විමර්ශනය කොට පීඩාවට පත්වූවන්ට වහා සහන සැලසීම සිදුකළ යුතු බවද ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.

මේ සම්බන්ධව තමන්වහන්සේ අධිකරණයට ද ගොස් ඇති බව පැවසූ ගුණවංශ හිමියෝ එෆ්.සී.අයි.ඩියේ විපතට පත්වූ පිරිසට සහන සැලසීම වර්තමාන ආණ්ඩුව ප්‍රමාද කිරීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටුවට පත් වී සිටින බවද තවදුරටත් පැවසූහ.