2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

මහින්ද දේශප්‍රිය ඉල්ලා අස්වීමේ ලිපිය යවයි!

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 175

l දේශපාලන වාර්තාකරු

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම තනතුරින් ඉවත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඔහුගේ මෙම තීරණය සම්බන්ධයෙන් අප මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කළවිට ඔහු සඳහන් කළේ තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් නිදහස් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට දැන්වූ බවය. මේ වසරේ නොවැම්බර් 10 වනවිට පළාත් සභා ඡන්දය පවත්වන්නට නොහැකි වුවහොත් තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිතා සිටි බව කී දේශප්‍රිය මහතා අපේක්ෂා කළ ලෙස පළාත් සභා ඡන්දය නොපැවැත්වුණු නමුත් ජනාධිපතිවරණයද පවත්වා හමාර බව පැවසීය. එම නිසා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ගේ ලිඛිත ඉල්ලීම මැතිවරණ කොමිසමේ ලේකම්වරයා මගින් ජනාධිපති ලේකම්වරයාට යැවූ බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැතැයිද කීය. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා තමන් අමතා ඉදිරි මහ මැතිවරණය හමාර වනතෙක් සභාපති ධුරයේ සේවය කරන්නැයි ඉල්ලා සිටි බව දේශප්‍රිය මහතා කීය. නියමිත කාලය සේවයේ යෙදෙන්නේ නම් ලබන වසරේ නොවැම්බර් මාසය දක්වා තමන්ගේ නිල කාලය පවත්නා වගද ඔහු ප්‍රකාශ කළේය.