2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ගෝඨාභය හා සජිත්ගෙන් තරගකාරී බදු සහන

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 203

දේශපාලන වාර්තාකරු  Ι

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක මගින් ලංකාවේ බදු ක්‍රමය වෙනස් කරමින් විවිධ සහන පිරිනැමීමට යෝජනා කර ඇත.

මේ අපේක්ෂකයන් දෙදෙනාම ජනතාව පීඩාවට පත්කරන වැට් බද්ද සංශෝධනය ගැන යෝජනා ඉදිරිපත් කර තිබේ. සජිත් ප්‍රේමදාස දැනට තිබෙන 15% වැට් බද්ද 12.5%ක් දක්වා අඩුකරන බව පවසයි. ගෝඨාභය රාජපක්ෂ වැට් බදු සීමාව 15% සිට 8% දක්වා අඩුකරන අතර 2%ක ආර්ථික සේවා ගාස්තුවද ඒ සමඟ අහෝසි කරන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අතර සජිත් ප්‍රේමදාස රුපියල් ලක්ෂ 40ට වඩා පිරිවැටුමක් සහිත ව්‍යාපාර සහමුලින්ම වැට් බද්දෙන් නිදහස් කිරීමට ද යෝජනා කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව වක්‍ර බදු ගණන 60ක් දක්වා අඩුකෙරේ. ඒ වෙනුවට ආදායම් බදු, දේපල බදු සහ වෙනත් ප්‍රගතිශීලී බදු ශක්තිමත් කෙරේ. ආදායම් බදු අනුපාතද ඉහළ දැමේ. ඒ සමඟ සජිත් ප්‍රතිඥා දී ඇත්තේ රඳවාගැනීමේ බද්ද හා වෙනත් බදු ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කරන වගයි. රාජ්‍ය පෞද්ගලික අංශවල වැටුප් ලබන්නන්ගෙන් අය කෙරෙන උපයන විට ගෙවීමේ බද්දට (Payee Tax) පනවා තිබෙන බදු නිදහස් සීමාව රැපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දමන්නටද යෝජනා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ බදු සහන පැකේජය මගින් බැංකු පොලිය මත අය කරන රඳවාගැනීමේ බද්ද අහෝසි කරන්නට යෝජනා කර තිබේ. නිෂ්පාදන හා ව්‍යාපාරවලින් දැනට අයකරන ආදායම් බද්ද 28% සිට 18% දක්වා අඩුකෙරේ. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සේවකයන්ගේ වැටුපෙන් අය කළ උපයන විට ගෙවීමේ බද්ද සහමුලින්ම අහෝසි කරන අතර හඳුනාගත් ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් බදු විමුක්ති පැකේජයක් හඳුන්වා දෙයි. දුරකතන හා අන්තර්ජාල සේවා බදු 50%කින් අඩු කෙරේ. ඒ සමඟ දැනට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයද සහමුලින් අහෝසි කර දමන්නට යෝජනා කර තිබේ.