2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ගෝඨාට එරෙහි පෙත්සම නිශ්ප්‍රභයි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:29 154

ගයාන් ගාල්ලගේ l

හිටපු ආරක්ෂක ලේකම් සහ පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලාංකිකයකු ලෙස නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, ගුවන් ගමන් බලපත්‍රය සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සිකුරාදා (04) තීන්දු කළේය.

ඒ සඳහා නොතීසි නිකුත් කරන ලෙසට පැමිණිලිකරුවන් කර තිබූ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබිණි.

රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබුණේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසිනි. දෙපාර්ශ්වයේම නීතීඥවරුන්ගේ ඉල්ලීම පරිදි විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සෙසු විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන මහත්වරු මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝජනය කළහ. 

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු සහ නීතීඥ ශානක ද සිල්වා යන මහත්වරු කරුණු දැක්වූහ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතාය. වගඋත්තර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, අලි සබ්රි සහ නවීන් මාරපන යන මහත්වරු කරුණු දැක්වූහ. 

සිකුරාදා පස්වරු 6.05ට මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එය දැකබලා ගැනීම සඳහා විපක්ෂයේ මැති ඇමැතිවරු, පක්ෂ නායකයෝ සහ විශාල ජනතාවක් අධිකරණ භූමියට පැමිණ සිටියෝය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01