2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

පොහොට්ටුව වෙනුවට පුටුවෙන් එන්න මහින්දලා නීති උපදෙස් ගනිති

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 456

l දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම වෙනස්කර මැතිවරණයට ඉදිරිපත් වීමට පොහොට්ටුව සිය එකඟත්වය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිකුරාදා සන්ධ්‍යාවේ විශේෂ ලිපියක් භාර දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යවන ලද මෙම ලිපිය අනුව සන්ධානයේ නම වෙනස් කිරීමටත් පොහොට්ටුව වෙනුවට පුටුව ලකුණින් තරග කිරීමටත් සිය එකඟතාව පළකර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණින් දැනටමත් ඇප තැන්පත් කර ඇති නිසා නීතිමය බාධාවක් පවතින බැවින් ඒ ගැන මැතිවරණ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගත යුතු බවයි. පවත්නා නීතිමය තත්ත්වය තුළ ඇප තැන්පත් කළ අපේක්ෂකයාට පසුව ඡන්ද ලකුණ වෙනස් කළ හැකිනම් ඒ අනුව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟත්වය පලකර ඇත.

පොහොට්ටුවේ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ නව සන්ධානය යටතේ තරගයට ඉදිරිපත් කිරීමටද පොහොට්ටුව එකඟ බව තවදුරටත් එම ලිපියේ සඳහන්ය. එම නිසා ගිවිසුම සම්බන්ධයෙන් වන දෙපක්ෂයේ යෝජනා කඩිනමින් සලකා බලා ශ්‍රීලනිපය සහ පොහොට්ටුව සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.