2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ගෝඨාභය කරළියට ගේන මහ සමුළුව අද

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 251

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම අද දින (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පොහොට්ටුවේ මංගල සංවත්සර රැලියේ දී සිදු කෙරේ.

අද සවස 3.00ට ආරම්භ කෙරෙන මෙම මහ රැලියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් කෙරෙයි. ඉන් අනතුරුව රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම සිදුවෙයි. මෙම කටයුතු සිදුවන පොහොට්ටුවේ රැලිය සඳහා හවුල්කාර පක්ෂ නායකයන් සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් පළමු වරට එක්වීමට නියමිතය.

මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන් සහ පන්දහසක පමණ සාමාජික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පොහොට්ටුව මංගල රැලියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රථම ආගමික උත්සවය එදින සවස කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කැලණි රජමහා විහාරයේ දී පැවැත්වෙයි. ඉන් පසුදා අනුරාධපුරය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන ආගමික වැඩසටහනකට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වෙයි. පසුදා මහනුවරට පැමිණෙන හෙතෙම දළදා සමිඳුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මුණගැසෙති. අනතුරුව කතරගම බලා පිටත්ව ගොස් විශේෂ පූජාවකට හා පින්කම් ගණනාවකට එක්වෙති. දෙවිනුවර උපුල්වන් දේවාලය ඇතුළු පූජ්‍යස්ථාන රැසක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පින්කම් සංවිධානය කර තිබේ.

කොළඹට පැමිණීමෙන් පසුව අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සහ හින්දු මුස්ලිම් ආගමික නායකයන් මුණගැසෙති.