2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ධීවර ගැටලුව : ඉන්දියා ශ්‍රී ලංකා ඉහළ පෙළේ සමුළුවක්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

 

බරපතළ දේශපාලන අර්බුදයකට තුඩුදී තිබෙන උතුරේ මුහුදේ ඉන්දීය ධීවර ක්‍රියාකාරකම් ගැන සාකච්ඡාමය විසඳුමක් ලබාගැනීමට දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් දෙකක් ඉදිරි සතියේ මුණගැසීමට නියමිතය. 

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් පිවිසීම, තහනම් දැල් පන්න ක්‍රම උපයෝගී කරගෙන උතුරු මුහුදේ මත්ස්‍ය සම්පතට හානි කිරීම ආදී හේතු මත ඉන්දීය ධීවරයන් හා ධීවර බෝට්ටු ගණනාවක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලාංකික ධීවරයන්ද ඉන්දීය මුහුදු තීරයට පිවිසීම නිසා ඉන්දීය අත්අඩංගුවට පත්වූ අවස්ථා ගණනාවකි. ශ්‍රී ලංකා රජය සහ තමිල්නාඩු පාලනය අතර මේ ගැන උණුසුම් වාද විවාද හට ගැනිණ.

කෙසේ හෝ ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියහ. ඔවුහු ඉන්දීය රජයේ බලධරයන් සමඟ මූලික සාකච්ඡා වටයකට සහභාගි වෙති. අනතුරුව ජනවාරි 02 දා ඉන්දීය මධ්‍යම රජයේ ධීවර විෂය භාරව සිටින එරට කෘෂිකර්ම අමාත්‍යවරයා කොළඹ පැමිණ මෙරට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

සාකච්ඡා නිමවීමෙන් පසු ඉන්දු ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව මගින් මෙම සාකච්ඡාවලදී එළඹගත් තීරණ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

සංජීවිකා සමරතුංග I