2016 දෙසැම්බර් 28 වන බදාදා

හවස තුනහමාරට කෝල් ඒකක් දීලා ගෙදර එනවා කියලා මහත්තයා කිව්වා

 2016 දෙසැම්බර් 28 වන බදාදා, පෙ.ව. 06:00 95

 

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියැදුරකු ලෙස රාජකාරි කළ පොලිස් සැරයන් ටී.ජී. විජේනායක මහතා අබිරහස් ලෙස ඝාතනයට ලක්ව මේ වනවිට සතියකටත් වැඩි කාලයක් ඉක්ම ගොසිනි. එම ඝාතනයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට හෝ නිවැරදි හෝඩුවාවක් තරම්වත් ලබාගැනීමට මෙතෙක් හැකිවී නොමැත. 

පොලිස් සැරයන්වරයා ඝාතනයට ලක්වන්නේ ඉකුත් 16 වැනිදා සිකුරාදා පස්වරුවේ පොළොන්නරුව, නව නගරයේ පිහිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට අයත් නිල නිවසේ පිටුපස කාමරයක් තුළදීය. තියුණු ආයුධයකින් පපු කුහරයට සිදුවූ මාරාන්තික තුවාල එම මරණයට හේතු වී තිබූ බව පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබුණි.

දරුවන් දෙදෙනකුගේ පියකු වන පොලිස් සැරයන් විජේනායක මහතා මෙම දුක්මුසු ඉරණමට ගොදුරු වන විට 49 වැනි වියේ පසුවිය. ඔහුගේ උපන් ගම මෙන්ම ජීවත්වූ ගම්පියසද මැදිරිගිරියේ, දිවුලන්කඩවල කුසුම්පොකුණයි.

පවුලේ දරුවන් දස දෙනකු අතුරින් හත්වැන්නා විජේනායකය. මැදිරිගිරිය, දිවුලන්කඩවල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇත්තේ වයස අවුරුදු 25දී පමණය.

උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි විජේනායකගේ පියා වන ටී.ජී. සිරිසේන මහතා 1988 වසරේදී ආයුධ සන්නද්ධ කැරලිකරුවන් විසින් ඝාතනය කොට අකාලයේ පිය සෙනෙහස අහිමිවීමේ දුක්මුසු සිදුවීමක්ද ඔහුගේ ජීවිත කතාව තුළ තිබේ. ඒ වනවිට විජේනායක තරුණයාගේ වයස අවුරුදු 21ක් පමණය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමත්, රැකියාවක් සොයාගැනීමේ වුවමනාවත් ඇතැම් විට ඒ නිසාම ඇතිවන්නට ඇත. කෙසේ නමුදු විජේනායක පොලීසියේ රැකියාවට බැඳී ඔහුගේ සේවා කාලය වසර 25කට ආසන්නය.

මුලින්ම කොළඹ අගමැති ආරක්ෂක අංශයේත් ඉන්පසුව වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා යටතේ දිගු කාලයකුත් හෙතෙම සේවය කර ඇති බව දැනගන්නට ලැබුණි. වික්‍රමසිංහ මහතා මෙයට වසර 12කට පමණ පෙර පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරන අවදියේත් විජේනායක මහතා ඔහුගේ නිල රියැදුරු ලෙස සේවය කොට තිබේ. එම සේවා ජ්‍යෙෂ්ඨත්වය හා විශ්වසනීයත්වය ජනපති ආරක්ෂක අංශයේ සේවය කිරීමටද බොහෝ දුරට හේතුවන්නට ඇත. කෙසේ නමුදු පොලිස් සැරයන් විජේනායක මහතා මෙම දුක්මුසු ඉරණමට ගොදුරුව ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව වනවිට ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියැදුරෙක් ලෙස රාජකාරි කරමින් සිටියේය.

ඔහු පසුගිය 16 වැනි දින දවස් කිහිපයක නිවාඩු ලබාගෙන කොළඹ සිට බස් රියෙන් පොළොන්නරුවට ආවේ සිය නිවෙසට යාමේ අටියෙනි.
මම දැන් අලව්වේ ඉන්නේ. හවස් වෙනකොට ගෙදරට එනවා යැයි එදින පෙරවරු 11.00ට පමණ විජේනායක සිය බිරිඳට දුරකතනයෙන් කතා කොට කියා තිබේ.

ඉන් අනතුරුව සවස 2.00ට පමණ පොළොන්නරුව නව නගරයට පැමිණි ඔහු නව නගරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කරන පොලීසියේ තම මිතුරකුගෙන් යතුරු පැදියක්ද ඉල්ලාගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාට අයත් නිල නිවාසයට ගොස් තිබේ. එම නිල නිවෙස පිහිටා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මීටර් 500කටත් වඩා අඩු දුරකිනි.

නැවතත් එදින සවස 3.30ට පමණ සිය නිවෙසට දුරකතන ඇමතුමක් ලබාගෙන විජේනායක සැරයන්වරයා බිරිඳට පවසා ඇත්තේ මම කඩෙන් බත් එකක් අරගෙන කෑවා. කොණ්ඩෙත් කපාගෙන ඉක්මනට ගෙදර එනවා යනුවෙනි. එහෙත් එම පොරොන්දුවට අනුව තම ආදරණීය බිරිඳ, දියණියන් දෙදෙනා දකින්නට මැදිරිගිරිය, දිවුලන්කඩවල, කුසුම්පොකුණේ පිහිටි සිය නිවස වෙත යන්නට රුදුරු මරුවා සැරයන් විජේනායකට ඉඩදුන්නේ නැත.

තම සැමියාගෙන් ලැබෙන අවසන් දුරකථන ඇමතුම කතාබහ මෙය වන්නට ඇතැයි ඔහුගේ බිරිඳ සුරම්‍යාද සිහිනෙකින්වත් නොසිතන්නටද ඇත.
මහත්තයා නිවාඩු ඇවිල්ලා ගිහිල්ලා සතියකට විතර පස්සේ තමයි ගිය සිකුරාදා ගෙදර එන්න නියමිතව හිටියේ. එදා උදේ කොළඹින් පිටත් වෙලා එන ගමන් එකොළහට විතර මට කතාකරලා කිව්වා දැන් අලව්ව හරියෙ ඉන්නේ කියලා. ඊට පස්සේ හවස දෙකට විතර ආයෙත් මට මහත්තයා කතා කළා. පොළොන්නරුවට ආවා. නව නගරයේ ඉන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කරන පොලීසියේ යාළුවෙකුගෙන් යතුරුපැදියක් ඉල්ලගෙන නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ බංගලාවට යනවා කියලා කිව්වා. නැවතත් හවස 3.30ට විතර කිව්වා මම දැන් කොණ්ඩෙත් කපාගෙන ඉක්මනට ගෙදර එනවා කියලා කියලා. කෑම කෑවද කියලා මම ඇහුවාම මහත්තයා කිව්වා කඩෙන් බත් එකක් අරගෙන කෑවා කියලා. හවස පහ, හය වෙනකලුත් මහත්තයා ගෙදර ආවේ නෑ. මේ වෙනකොට හවස 6.00ට විතර මහත්තයාගේ ලොකු අයියා අපේ ගෙදර ළඟ මළගෙදරක් තිබුණා ඒකට ගිහිල්ලා එන ගමන් අපේ ගෙදරට ආවා. මම කිව්වා ලොකු අයියා මහත්තයා හවස තුනහමාරට විතර නව නගරයේ ඉඳලා කතා කරලා මට කිව්වා කොණ්ඩෙත් කපාගෙන ගෙදර එනවා කියලා තවමත් ආවේ නෑ කියලා. මම නව නගරයේ එයාගේ යාළුවෝ කීප දෙනෙකුටත් කතා කරලා බැලුවා කිසිම තොරතුරක් දැනගන්න බැරිවුණා. ඊට පස්සේ ලොකු අයියාත් තවත් අයියලා තුන් දෙනෙකුත් යතුරු පැදිවලින් පොළොන්නරුවේ නව නගරයට ගියා මහත්තයා ගැන හොයලා බලන්න. ඒ ගිය වෙලේ තමයි අයියලාට දැනගන්න ලැබිලා තියෙන්නේ මගේ මහත්තයාට කරදරයක් වෙලා කියලා. මට හිතාගන්නා බෑ ඇයි මේ වගේ අපරාධයක් කළේ කියලා. මම දන්න තරමට මගේ මහත්තයාට තරහකාරයෝ කවුරුවත් හිටියේ නෑ. එයා හරිම අහිංසක විදියට රස්සාව කරගෙන හිටියේ. මේක අහස, පොළොව නුහුලන අපරාධයක්. මමයි, දරු පැටව් දෙන්නයි මේ ලෝකේ තනි වුණා. අපි මේ දුක කොහොම උහුලන්නද දෙයියෝ!

පොලිස් සැරයන් විජේනායක මහතාගේ බිරිඳ සුරම්‍යා වෑවලගේ (47) මහත්මියගේ දුක්බර විලාපය බොහෝ දෙනාගේ දෑස් කඳුළින් තෙත් කරවන්නකි.

ඇය සිය සැමියාට අත්වූ ඉරණම තවමත් අදහාගත නොහැකි තත්ත්වයක පසුවන්නීය. ඇයට පමණක් නොව විජේනායක මහතාගේ පවුලේ සහෝදර සහෝදරියන්, ඥාති හිතවතුන් පමණක් නොව ඔහු සමඟ රාජකාරි කළ පොලිසියේ මිතුරන්ටද ඔහුගේ අකල් වියෝව තවමත් සිහිනයක් බඳුය. සැරයන් කොයි කාගේත් හොඳ හිත දිනාගෙන රාජකාරි කළ යහපත් පොලිස් නිලධාරියෙකු බව ඔහුගේ අවමඟුලට පැමිණ සිටි පොලිස් නිලධාරීහු බොහෝ දෙනෙකු කතාබහ කරනු ඇසිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා අප සමඟ පැවැසුවේ මෙම නිලධාරියා ඉතාමත් හොඳින් රාජකාරිය ඉටුකළ අවංක පොලිස් නිලධාරියකු බවය. දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක තමන් රාජකාරි කරද්දී තම රියැදුරු ලෙස ඔහු සේවය කළ බවද කීය. තම විශ්වාසය දිනාගනිමින් කුළුපග මිතුරකු ලෙස ඉතාමත් ළඟින් සිටි සැරයන් විජේනායකට අත්වූ ඉරණම තමන්ද දැඩි කම්පනයට ලක්කළ එකක් බවත් ඔහු කීය. මෙම පොලිස් නිලධාරියාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් අපරාධකරුවන් හැකි ඉක්මණින් කොටුකර ගැනීම අපේක්ෂාව බවත් කීවේය.

පොලිස් සැරයන් විජේනායක මහතාගේ අබිරහස් ඝාතනය සිදුවී මේ වනවිට දින සති බවට හැරෙමින් තිබේ. එම අපරාධය සම්බන්ධයෙන් සැක කටයුතු කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී නැත.

එයට හේතුව මෙම අපරාධය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි කිසිවක් හෝ ඒ පිළිබඳව නිවැරදි හෝඬුවාවක් පොලිසියට තවමත් නොලැබීමය. එනිසාම එය සිදුකළ අපරාධකරුවා හෝ අපරාධකරුවන් තවමත් පසුවන්නේ නිදැල්ලේය. කෙසේ නමුදු සැරයන් විජේනායක මහතාගේ ඝාතනය ඉතාමත් සැළසුම් සහගතව සහ සූක්ෂම ලෙස සිදුකර තිබෙන බව පැහැදිලි යැයි පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීහු කියති.

යම්කිසි අපරාධයක් සිදුකිරීමෙන් පසුව එම අපරාධකරුට හෝ අපරාධකරුවන්ට සැඟව සිටිය හැක්කේ සීමිත කාලයකි. බොහෝ විට පොලිසිය, විමර්ශන කටයුතු කරන නිලධාරීහු අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගනිති. සැරයන් විජේනායක මහතාගේ ඝාතකයින්ටද වැඩි කලක් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ කඩ නොතිබෙන බවයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ.

සටහන සහ සේයාරූ: කරුණාරත්න ගමගේ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01