2016 දෙසැම්බර් 28 වන බදාදා

බෙහෙත් ලේබලයෙන් මත්පෙති වික්ක මොරටුවේ ෆාමසිය

 2016 දෙසැම්බර් 28 වන බදාදා, ප.ව. 01:43 197

 

මෙරටට ආනයනය කිරීම තහනම්, වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීම සපුරා තහනම් සහ විකිණීම තහනම් ලේබල් යටතේ ඖෂධ සමාගම්වලින් නිකුත් කළ ඖෂධ වර්ග තොගයක් ඇතුළු අධි මාත්‍රාවකින් යුතු පෙති වර්ග නිකරුණේ භාවිතය අවදානම්ය. මේ ඖෂධ හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට අධික මිලකට අලෙවි කරමින් සිටි පෞද්ගලික ඖෂධ අලෙවිසලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පාලන අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබුණේ ඉකුත් සතියේදීය.

විවිධ රෝග සඳහා භාවිතයට ගන්නා අධි මාත්‍රාවෙන් යුතු බෙහෙත් පෙති වර්ග මත්පෙති වශයෙන් අධික මිල ගණන්වලට අලෙවි කිරීම මෙම ඖෂධ අලෙවි සලේදී කරගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. මොරටුව, රාවතාවත්ත හන්දිය ආසන්නයේ පිහිටි ෆාමසියක සිදුකෙරුණු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී පදිංචිකරුවන්ගෙන් සහ ඒ ආසන්නයේ පිහිටි ඖෂධ ශාලා අලෙවිසල් හිමියන්ගෙන් පළමුව පැමිණිලි වාර්තා වී ඇත. මේ අතර දින කීපයක් ගතවෙද්දී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට මොරටුව ප්‍රාදේශීය ලේකම්වරයාට මොරටුව සහ මොරටුමුල්ල පොලිස්ථාන වෙතද විවිධාකාරයෙන් පැමිණිලි යොමුවන්නට විය. එමෙන්ම බොරැල්ල පොලිස් බුද්ධි අපරාධ කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබූ අතර එම පැමිණිලි ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කිරීමත් සමග වැටලීමේ මෙහෙයුමක් දියත් කිරීමට එහි නිලධාරීන් පියවර ගෙන ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් පිරිසක් රාවතාවත්තේ පිහිටි ෆාමසිය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේ සැලසුමක් සකස් කළහ. ඒ අනුව ප්‍රදේශවාසීන්ගෙන් ලබාගත් තොරතුරු පදනම් කර ගනිමින් රාවතාවත්ත මංසන්ධිය ආසන්නයේ වෙස් වලාගෙන රැඳී සිටින්නට ඔවුහු පියවර ගත්හ. මෙසේ රැඳී සිටි නිලධාරීන් දින ගණනාවක් තිස්සේ අදාළ ස්ථානය අසළ ආවේෂණ රාජකාරියේ නිරතව සිටියෝය.

තොරතුරු ලැබුණාට පසුව අපේ නිලධාරීන් කීපදෙනෙක් රාවතාවත්ත හන්දිය කිට්ටුව ආවේෂණ රාජකාරියේ නිරත වෙලා විස්තර සොයමින් හිටියා. උදේ ඉඳලා රාත්‍රිය වෙන තෙක්ම දින කීපයක් ගත කළා. එම ස්ථානය සාමාන්‍ය මට්ටමේ ෆාමසියක් විදිහට පවත්වාගෙන යනවා. සේවකයන් කිප දෙනෙකුත් ඉන්නවා. දවස පුරාම සාමාන්‍ය විදිහට ගනුදෙනු සිදුවෙනවා. නමුත් සවස 4න් විතර පස්සෙ නොසෑහෙන්න සෙනඟ එනවා. ඒ තත්ත්වය අනෙක් ෆාමසිවලට වඩා වෙනස්. තව කාරණයක් තමා මේ ෆාමසියට පාසල් වයසේ ළමයි, තරුණ පිරිස් සහ පිරිමි පාර්ශ්වයේ විවිධ පුද්ගලයන් වැඩි වශයෙන් යන එන බවත් පෙනුණා. ඒ බොහෝ දෙනා සෙසු ෆාමසිවලට යන එන විදිහේ වැදගත් ස්වරූපයක් හෝ ඇඳුම් පැළඳුම්වල ආකර්ෂණයක් පිළිවෙළක් දකින්නට නෑ. සමහර තරුණයන් සහ මැදිවියේ පුද්ගලයන් මෙතනට දිනපතාම එනවා. දවසට දෙතුන් වතාව ආපු පුද්ගලයන් නිරීක්ෂණය වුණා. එහෙම ආව අය සෙසු මිනිසුන්ට වඩා වෙනස්. ඇස් බාගෙට පියාගෙන වගේ ඉන්නවා. නිදිමත ගතියක් පේනවා. සමහරු කුසගින්නෙන් පෙළෙනවා වගේ ඈනුම් අරිමින් සිටිනවා. තවත් සමහර ළමයි නින්දෙන් ඇහැරියා වගේ ඇස්වලින් කබ පෙරමින් ඉන්නවා. තවත් හදිසියේ දුවගෙන ඇවිත් යන කට්ටිය ඉන්නවා. ඒ අයගේ ඇස්වලින් කඳුළුත් ගලන බව නිරීක්ෂණය කළා. ඔවුන් අධික ලෙස යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා හැසිරෙන බවක් පෙනෙන්නට තිබුණා. එහෙම ආය ෆාමසියට ආපු ගමන් යමක් අරගෙන එළියට යනවා. ෆාමසියෙන් එළියට ආව ගමන් අතේ තියෙන දෙයක් ඉක්මණට කටේ දාගෙන යනවා. අතේ තිබූ හිස් යමක් බිමට දානවා. මේ නිසා අවට පරිසරයේ බිම පරීක්ෂා කළාම ෆාමසියේ සිට මීටර් 150ක් විතර දුරට බෙහෙත් පෙති වර්ග ඇසුරුම් කළ කවර කොටස් දකින්නට ලැබුණා. මේ සියලුම අසුරණ කොටස් අධි මාත්‍රාවෙන් යුතු බෙහෙත් පෙතිවල ඇසුරුම් යැයි විමර්ශන කණ්ඩායමේ නිලධාරියකු පැවසීය.

එම ඇසුරුම් අතර ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ අලෙවි කෙරෙන ඖෂධ පෙති අසුරණ දකින්නට ලැබී ඇත. ඇතැම් ඖෂධ අධි මාත්‍රාවකින් යුතු වේදනානාශකය. ඒවා ශරීරයේ සැත්කම් සිදුකිරීමෙන් පසු ඇතිවන වේදනාව තුරන් කිරීමට ලබාදෙන බෙහෙතකි. තවත් ඒවා නිදිමත ඇතිවීම සඳහා දෙන නිදි පෙතිය. ඇතැම් ඒවා බරපතළ මානසික රෝග සඳහාද තවත් ඒවා ස්නායුරෝග සඳහා හා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ බවටද අනාවරණය විය.

මේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කළ නිලධාරීන් කළේ උපාය දූතයකු වශයෙන් සිය සාමාජිකයකු යෙදවීමය. 

වැටලීමට පෙර උපාය දූතයෙක් විදිහට නිලධාරියෙක් යොදාගත්තා. ඔහු ගිහින් ටැබ්ලට් ඉල්ලුවා. කිසිම සැකයකින් තොරව ෆාමසි හිමියා ඒ ටැබ්ලට් ලබාදුන්නා. තව සේවකයන් හිටියාට මේ ටැබ්ලට් විකුණන්නේ අයිතිකරු විතරයි. මේ කියන ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීම සපුරාම තහනම්. එපමණක් නොවේ රටට ගෙන්වීම, ගබඩා කිරීම බරපතළ වරදක්. එම ඖෂධ ගෙන්වීමට අවසර තිබෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පමණයි. අලෙවි කිරීම සිදුවන්නේත් රාජ්‍ය ඔසුසල්වල පමණයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ මිලට දීම හෝ නිකුත් කිරීම තහනම් නිසා අපේ අනන්‍යතාවය පැහැදිලි කරලා හිමිකරු අත්අඩංගුවට ගන්න ක්‍රියා කළා. ඒ වෙද්දි සවස්වෙලා තිබුණා. අපේ විමර්ශනවලට බාධාවක් නිසා ෆාමසියේ වීදුරු දොර වහලා තිබුණේ. ඒ වෙද්දි එළියෙන් පිරිමි පුද්ගලයන් 30දෙනෙක් පමණ පෝලිමක් හිටියා. එකිනෙකා ඇවිත් දොරට තට්ටු කරලා දොර අරින්න කියනවා. කරුණු අහල බලද්දි ඉල්ලන්නෙ අධිමාත්‍රාව සහිත ටැබ්ලට්. හොඳටම මත්පෙතිවලට ඇබ්බැහි වූ පිරිසක් එතන හිටියේ. සමහරු ඇවිත් තිබුණේ කැස්සට බොන පැණි වර්ගයක් ලබාගන්න. එයත් ඔවුන් මත්ද්‍රව්‍යයක් විදිහට භාවිතයට ගන්නවා. ෆාමසිය තුළ ඖෂධ තොග වශයෙන් ගබඩා කර තිබුණා. සාමාන්‍ය මට්ටමේ ෆාමසියක පෙති 500ක් පමණ ගබඩා කර තිබිය යුතු ඇතැම් ඖෂධ පෙට්ටි 5000ක් පමණ එතන තිබුණා. ඒවා සේරම අධි මාත්‍රාවෙන් යුතුයි. සියල්ල අලෙවි කරන්නේ මත්පෙති විදිහට. එන ඕනම කෙනකුට මේ පෙති අලෙවි කරනවා. ඇතැම් පෙත්තක වෙළඳ වටිනාකම රුපියල් 10ක් 17ක් වෙද්දි මේ පුද්ගලයා ඒවා අලෙවි කරන්නේ රුපියල් 80ත් 200ත් අතර මිලකට.

එම ස්ථානයේ සිටි ඇතැමුන් සමඟ කතා කිරීමට සමත්ව තිබූ විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණේ මත්ලෝලීන් අතර පාසල් ළමයි, අමතර පන්ති සඳහා සහභාගි වූ සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රදේශවාසී තරුණයන්, මොරටුව අවට ලී මෝල්වල කම්කරුවන් සහ ධීවරයන්ද ඒ අතර සිටි බවයි. මෙම ස්ථාන පිළිබඳව දන්නා ඇතැම් අය ගාල්ල, කළුතර, ගම්පහ, මීගමුව ආදී ප්‍රදේශවල සිටද පැමිණ ඇති බව වාර්තා වී ඇත.

නිලධාරීන් විසින් ඖෂධ ශාලා හිමියා අත්අඩංගුවට ගනු ලැබුවේ වෛද්‍ය වට්ටෝරුව රහිත ඖෂධ අලෙවි කිරීම සහ ඖෂධ අවභාවිත යන චෝදනා යටතේය. මොහු මෙසේ අනවසර ඖෂධ තොග ගෙන්වාගෙන තිබූ ආකාරය තවමත් හෙළි වී නැති අතර ඒවා ඖෂධ ශාලා හිමියන්ට ගබඩා කිරීමේ අයිතිය ඇත්තේ සුළු වශයෙනි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ඖෂධ අලෙවිහලට අදාළ බලපත්‍රය ද කල් ඉකුත් වී ඇති බවය. එබැවින් වලංගු බලපත්‍ර රහිත වීමද ඔහුට එරෙහි චෝදනාවකි.

මොහු මෙවැනිම ඖෂධ අවභාවිත චෝදනාව මත 2011, 2013 සහ 2015 වසර වලදීද අත්අඩංගුවට පත්ව ඇති අතර එහිදීද අධි මාත්‍ර පෙති අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට ලක්වී ඇත. එහිදී ගොනුකළ නඩුවක් තවමත් විභාග වෙමින් තිබෙන අතර එක් නඩුවකදී වරදකරු වී තිබිණ. එවැනි අවස්ථාවක අත්අඩංගුවට පත් රුපියල් ලක්ෂ 3කට අධික ඖෂධ තොගයක් බැඳුම්කරයක් මත නිදහස් කර උසාවියට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබියදී නඩු කටයුතු අතරතුරදී සැකකරු එම භාණ්ඩ ලක්ෂ 9ට පමණ අලෙවි කර ඇතැයිද අනාවරණය වී ඇත. ඉකුත් 15 වැනිදා සිදුකළ වැටලීම පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ, ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා, මහින්ද සිරි කුමාර, ඩී.එස්. ගුරුසිංහ, ඩී.ආර්.ඩබ්ලිව්. බණ්ඩාර, බුද්ධික ගංගොඩතැන්න, ඩබ්ලිව්. අල්විස්, අජිත් රෝහණ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන මෙහෙයවති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර